Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලාංකික යුවළක් චීනයෙන් පිටුවහල් කරයි! නැවකට පැට වූ බහාලුමක සැඟ වී මෙරටින් පැන ගිහින්!

3 years ago

බහාලුම් පෙට්ටියක් තුළ සැඟවී මැලේසියාවට පළා යෑමට තැත් කිරීමේදී චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වසරකට පසුව එරටින් පිටුවහල් කර තිබේ.

ඒ අනුව ඔවුන් අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇත.

එම සැකකරුවන් දෙදෙනා කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලුමක සැඟවී මෙසේ මැලේසියාවට පළා යාමට තැත් කර තිබුණි.

ඔවුන් 26 හැවිරිදි මාදි රාජේන්ද්‍රන් සහ 39 හැවිරිදි ජයකුමාර් තරුමරාසා නමැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකි.

ඉකුත් 2023 වසරේ ජනවාරි මස 30 වනදා අදාළ පුද්ගලයන් දෙදෙනා කොළඹ වරායේ නවතා තිබූ “මර්ක්ස් යුනිකෝන් ” නැවට පටවා තිබූ හිස් බහාලුමක් තුළට රහසිගතව ඇතුළු වී ඇත්තේ මැලේසියාව බලා පිටත්ව යාමටය.

එහෙත් අදාළ නැව මැලේසියාවට පැමිණි විට, එම බහාලුම තුළ සැඟවී සිටි සැකකරුවන් දෙදෙනා භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා, එම නැවේ නාවුක බලධාරීන් සැකකරුවන් රැගෙන තවත් රටවල් ගණනාවකට යෑමෙන් පසු අවසාන වශයෙන් චීනය වෙත පැමිණ තිබු අතර එහිදී චීන බලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්පසුව සැකකරුවන් දෙදෙනා එරටින් පිටුවහල් කිරීමට පියවර ගත් පසුව, අද අලුයම 05.01ට චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත මොවුන් පැමිණීමෙන් පසුව කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ කිරුළපන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත රැගෙනවිත් ඇත.