2022 වසරේ අප්‍රේල් මස 01 වනදා අරගලය පැවැති අවස්ථාවේදී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට සමාජ මාධ්‍ය තහනම පනවමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවට නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් 06 ක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මෙම දැනුම්දීම සිදුකළේය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන්ගේ නම් සංශෝධනය කිරීමට අවශ්‍යව තිබෙන අතර ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මෙම පෙත්සම් සලකා බැලීම කල් දැමීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බව සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන ඔක්තෝබර් මස 09 වනදා දක්වා කල් තැබීමට නියෝග කළහ.

