පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට යම් අයෙකු පොලීසිය වෙත කැඳවන අවස්ථාවේදී පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කළයුතු බවට වන චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.
එමෙන්ම එම චක්‍රලේඛය කෙටුම්පත් කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙස රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පොලිස්පතිවරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නේ බලශක්ති ක්ෂේත්රයේ ක්‍රියාකාරිකයෙකු වන එම්. බී. වී. රැළපනාව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
පෙත්සම්කරු ප්‍රකාශ කර ඇත්තේ තම ෆේස්බුක් පිටුවේ විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් අදහසක් පළ කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් නමුත් ඊට අදාළව කරුණු පැහැදිලි කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බැවින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.
එමඟින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණා.

