හම්බන්තොට ප්‍රසිද්ධ හෝටලයකදී ඉකුත් දා (මාර්තු 11) රාත්රියේදී පැවති මංගල සාදයකට සහභාගි වූ පිරිසක් අතරින් තිස් දෙනෙකුට අධික ගණනක් ආහාර විස වීමක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
එම සාදයට සහභාගි වූ දෙසිය අසූවක පිරිස අතරින් එකසිය හැත්තෑ දෙනෙකුට පමණ දරුණු උදරාබාධ තත්ත්වයක් පෙරේදා (මාර්තු 12) උදෑසන වන විට මතු වී ඇතැයි හම්බන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස අතර වෛද්‍යවරුන් තිදෙනෙකු ද සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ ය.
දෙබරවැව මූලික රෝහලේ දාහතර දෙනෙක් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ අට දෙනෙකු, කොළඹ ජාතික රෝහලේ තිදෙනෙක් හා අම්බලන්තොට රෝහලෙහි පස්දෙනෙකු ඇතුළු තිස්දෙනෙකු පෙරේදා (මාර්තු 12) දිනය වන විට නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව රෝහල් ආරංචිමාර්ග පැවසීය. මත්තල අධිවේගී පිවිසුමට ආසන්නයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ මංගල සාදයකදී මේ තත්ත්වය ඇති වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ආහාරපාන සැපයූ ප්‍රසිද්ධ හෝටලයේ කළමනාකාරිත්වයෙන් විමසූ විට ඔවුන් සඳහන් කර ඇත්තේ යම් අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ඊට අදාළ ක්‍රියාමර්ග ගැනීමට හෝටලය බැඳී නොමැති බව ය. ඇති වී තිබෙන තත්ත්වය දුරදිග ගෙනයාම නතර කරන ලෙස කළමනාකාරිත්වය ඉල්ලීමක් කොට ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂයක චෙක්පතක් අල්ලසක් ලෙස ලබාදීමට ද කටයුතු කළ බව පැමිණිලිකරු සඳහන් කළේ ය.
සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරිකයා සඳහන් කළේ එදින රාත්‍රි ආහාරය සඳහා හෝටලයට දෙසීයකට ආරාධනා කර තිබූ නමත් 280ක පිරිසක් සහභාගි වූ බව ය. මේ හේතුවෙන් මනාල යුවළ සහ පවුලේ ළඟ ම ඥාතීන් ආහාර ගැනීමෙන් වැළකී සිටි බවද ඔහු කීය. වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ පිළිගත් බොහෝදෙනා මංගල සාදයට පැමිණ එහි තිබූ ආහාර භුක්ති විඳීමෙන් රෝගී වී ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මේ හේතුවෙන් තමා ඇතුළුව මනාල යුවළ හා පවුලේ අය බරපතළ අපහසුතාවකට හා සිත්තැවුලට පත්ව සිටින බව ද ඔහු කීය.

