රජය විසින් ලබාදුන් පාස්කු ඉරිදා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ මෘදු පිටපතෙහි සාක්ෂි ඇතුළත් පිටු 1500කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් චෝදනා කරනවා.
පසුගිය සතියේ කොළඹ අගරදගුරු මන්දිරයේ සම්මන්ත්රණ ශාලාවේ පැවැති රැස්වීමේදී අදහස් දක්වමින් කාදිනල් හිමියන් මේ බව ප්‍රකාශ කළා.
රජය විසින් කොමිෂන් වාර්තාවේ මෘදු පිටපත සීඩී තැටි 06ක් ලෙස ලබාදී ඇති බවයි උන්වහන්සේ කියා සිටියේ.
කාදිනල් හිමියන් අවධාරණය කළේ උන්වහන්සේ ඇතුළු පාර්ශවයේ නීතිඥයින් විසින් එම සීඩී තැටි පරීක්ෂා කළ බවත්, ඒවා පරීක්ෂා කිරීමෙන් පසු ජනාධිපති වාර්තාවේ පිටු 70,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවටත් පෙනී ගිය බවයි.
කෙසේ වෙතත් රජය පිටු 1500කට වඩා වැඩි ප්‍රමාණයක් උන්වහන්සේ ට භාර දී නොමැති බවද කාදිනල් හිමියන් කියා සිටියා.
සහරාන් හෂීම්ගේ බිරිඳ හාඩියා සහ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කණ්ඩායම් සමග ඉතා සමීපව ඇසුරු කළ ප්‍රධාන චරිතයක් වන සාරා ජෙස්මින් වැනි ප්‍රධාන සාක්ෂිකරුවන් විසින් ලබාදුන් සාක්ෂි මෙම අතුරුදහන් වූ පිටුවල අඩංගු වී ඇති බවට පෙනී යන බවද එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළා.
“එමෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් දිගින් දිගටම විමර්ශනවලින් සියයට 99ක් අවසන් බවට ප්‍රකාශ කරන බවත්, ජනාධිපති වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ පල්ලිය තක්සේරු කර ඇති බවත් පවසනවා.. ඔවුන්ගේ ප්‍රකාශවල කිසිම සත්‍යතාවක් නැහැ.. දැන් ඔවුන් සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් දැන සිටි මුස්ලිම් ජාතිකයන් 23 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.. රජයේ බලධාරීන් දැන් උත්සාහ කරන්නේ ඔවුන්ව බිල්ලක් බවට පත්කිරීම සහ නඩුවේ සියළු පැති විමර්ශනය කිරීම හිතාමතාම නොසලකා හැරීමයි..”

