දැනට ජීවතුන් අතර සිටින අයකුගේ නමින් පාසලක් නම්කිරීම සිදු නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය මේ වන විට කඩකරමින් දේශපාලනඥයන්ගේ නම්වලින් පාසල් නම්කිරීමේ සිද්ධීන් මහත් ආන්දෝලනයකට ලක්ව ඇති බව වාර්තා වේ.
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට පත්වීමත් සමග ඔහුගේ නමින් මධ්‍යම පළාතේ පාසලක් නම්කර තිබූ සිද්ධිය ගැනද පසුගියදා දැඩි කතාබහකට ලක්ව තිබූ අතර, එම ක්‍රියාදාමයන් ගැන අධ්‍යාපන අමාත්‍යවරයාගේද අවධානය යොමුව තිබිණි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් 1996 නිකුත් කර ඇති චක්‍රලේඛයේ තොරතුරු ඉල්ලා ආණ්ඩුකාර ලේකම්වරියගෙන් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීම් කර ඇති බවයි.
ඒ පිළිබඳ පසුගියදා කොළඹ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානයට යළි යොමුකළ නමුදු මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවැසීය.
මේ අතර, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසුවේ මධ්‍යම පළාතේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු දැනට ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් තුන් දෙනකුගේ නම් සඳහන් පාසල් ඇති බවය. කෙසේ වෙතත් අලුතෙන් දේශපාලනඥයන්ගේ නම් යොදා පාසල් නම්කිරීම දැනටමත් අත්හිටුවා ඇති බවද ඔහු පැවැසීය.

