ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ එකසිය හතෙන් ඩිපෝ හැත්තෑවකම සේවකයන් සඳහා මාස ගණනාවක සිට මාසික මුළු වැටුප නිසි පරිදි ගෙවා නොමැති බවට එම මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මහා භාණ්ඩාගාරයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත ලබාදෙන ප්‍රතිපාදන අවම කිරීමත්, ලංගම ආදායම්වලින්ම සේවක පඩි ගෙවීමට සිදුව තිබීමත් මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ලංගම සේවකයෝ සඳහන් කරති.
ලංගම නිලධාරීන්ගේ වැටුප් සෑම මසකම 26 වැනිදාත්, ලංගම රියැදුරු හා කොන්දොස්තරවරුන්ගේ වැටුප් සෑම මසකම 08 වැනිදාත් ගෙවන නමුත් ගෙවුණු මාස අටකට වැඩි කාලයක සිටම වැටුප් ගෙවීම් නිසි පරිදි සිදුකර නැත.
ඇතැම් ඩිපෝ ප්‍රධානීන් හා ලංගම ප්‍රධානීන් සිදුකරන අයථා ගනුදෙනු හා දූෂණ අක්‍රමිකතා නිසා ලංගම ආදායම් ද විනාශ වන බවත්, මේ හේතුවෙන් සේවක වැටුප් ගෙවීමට නොහැකි වී ඇති බවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෘත්තීය සමිති පෙන්වා දෙති. මේ හේතුවෙන් මණ්ඩලය වේගයෙන් කඩාවැටෙන ආයතනයක් බවට පත්ව තිබෙන බවද ඔවුහු කීහ.
බස් රථවල ටයර් හා අමතර කොටස් ගෙන්වීමේ බලය ඩිපෝ වෙත ලබාදීමෙන් ඩිපෝ අධිකාරිවරුන් සහ ඩිපෝ කළමනාකාරවරුන් බාල අමතර කොටස් හා ටයර් ගෙන්වා මූල්‍ය විනාශයන් සිදුකරන බවත් එම සංගම් කියා සිටිති.
කිලෝ මීටර් දොළොස් දහසක් පමණ ධාවනය කළ හැකි නැවත පිරවුම් ටයර් වෙනුවට වැඩි මිලට බාල ටයර් ලබාදීමෙන් කිලෝමීටර් හාරදහසකින් පමණ ටයර් මාරු කිරීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ හාරදහස් හත්සියයක් දෛනිකව ධාවනය වන අතර, දිනකට එම මණ්ඩලයට ලැබෙන ආදායම මිලියන අසූවකට අධිකය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉහළ තනතුරු දරමින් ඉන්ධන වංචා කළ, විවිධ අක්‍රමිකතා සිදුකළ නිලධාරීන් දහයක පමණ පිරිසක් මෙම මණ්ඩලයේ සභාපතිවරයා විසින් විමර්ශනවලට යොමුකර තනතුරුවලින් ඉවත් කර තිබෙන බව ද මණ්ඩලයේ ආරංචි මාර්ග කියා සිටියි. (source – aruna)

