ලබන මස පළමු වැනිදා සිට ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වයඹ පළාත් පාසල් එකසිය දාහතරක විදුහල්පති සේවයේ ස්ථාන මාරු වීම් නතර කරනු ලැබ තිබෙනවා.
ඒ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින්.
මෙම ස්ථාන මාරු නතර කිරීමට විරුද්ධව ලබන පළමු වැනිදා ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්යග්රහයක් පැවැත්වීමට විදුහල්පති සංගම් පහක් තීරණය කර තිබේ.
එකම පාසලේ වසර අටකට වැඩි කාලයක් සේවය කර තිබීමේ නිර්දේශය මත විදුහල්පතිවරුන් මෙලෙස ස්ථාන මාරු කිරීමට සැලසුම් කර තිබුණි.
ස්ථාන මාරුවීම් ලැබුණු විදුහල්පතිවරුන් අතර සිටින එක් විදුහල්පතිනියක් වසර 24ක් එකම පාසලේ සේවය කර ඇති බවයි එම සංගම් පවසන්නේ.
මෙම ස්ථාන මාරු කිරීම් සඳහා මානව හිමිකම් කොමිසම විසින් දුන් නියෝගයද හේතු වී තිබුණි.

