අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන ඇති බවත්, පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
2023 වසරේ සිට මේ දක්වා කාලය තුළදී පිපිරුම් වර්ධනය මීටර් දශම දෙකක් වන අතර මේ වන විට පිපිරුම් ප්‍රසාරණය වීම නැවතීමට ලක් වී ඇති බවත්, 2016 සිට 2020 දක්වා මීටර් 12 ක් හා 2020 සිට 2023 දක්වා මීටර් 9 ක පැල්මේ වර්ධනයක් සිදු වී ඇති බවත්, ස්තූපයේ නිරීක්ෂණය සඳහා පත් කළ විද්වත් කමිටු සාමාජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර සඳහන් කරනවා.
ස්තූපයේ පිපිරුම්වලට මේ වන විට බදාමයන් යොදා සීල් කර ඇති අතර පැළුම් වර්ධනය වීම පාලනය කිරීම සඳහා ගර්භය තුළට ජලය කාන්දු වීමේ වේගය අඩාළ කිරීම වැදගත් බව ද මෙහිදී අනාවරණය විය.
ඉදිරියට පැමිණෙන වර්ෂා කාලයේදී මෙම පැළුම් වර්ධනය වීම වළක්වාලීම සඳහා තාක්ෂණික ක්‍රමවේදයන් අඛණ්ඩව අනුගමනය කරන බව විද්වත් කමිටු සාමාජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.ඩී. සමිත් බුද්ධික මෙහිදී පැවසීය.
ජේතවනාරාම ස්තූපයේ පිපිරුම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා ඇතුළු පිරිස මේ බව සඳහන් කළේ.

