එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19දා) පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
තෙවරප්පෙරුම මහතා සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී ඊයේ (16දා) විදුලි සැර වැදී මරණයට පත් වූ බවයි පවුලේ ඥාති පුත්‍රයෙකු සඳහන් කළේ.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ මෙම හදිසි වියෝව සම්බන්ධයෙන් ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු මෙලෙස අදහස් පළකලා.
“ඔහුගේ පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා. නොදැනුවත්වම බිම තිබුණු වයර් එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා. එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. කොහොම වුණත් දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා.”
1960 වසරේ මැයි මස 03 වැනිදා ජන්ම ලාභය ලැබූ පාලිත තෙවරප්පෙරුම මහතා මිය යනවිට 64 වන වියේ පසුවුණා.
රට තුළ සිටින කාගේත් කතාබහට ලක්වූ ඒ මහතාගේ මෙම හදිසි වියෝව කොයි කාටත් දුකක් ඉතිරි කරනු නොඅනුමානයි.
දේශපාලනය තුළ සක්‍රීයව සිටියදී සහ ඉන් ඉවත්ව සිටි මොහොතේ දී පවා ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළ නායකයෙක් ලෙස තෙවරප්පෙරුම හැඳින්විය හැකි බවයි ජනතාව පවසන්නේ.
2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිය දේශපාලනය ඇරඹි පාලිත තෙවරප්පෙරුම මහතා ඉන් අනතුරුව බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙස පත්වූවා.
2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.
2015 – 19 දක්වා කාලය තුළදී ඔහු ස්වදේශ කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.
ඔහු ජීවත්ව සිටින කාලයේදීම සිය සුසානය නිර්මාණය කිරීමත්, අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් පිළිබඳවත් මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

