Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පාසල් දරුවන්ට සහල් බෙදාදීම අරඹයි

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී ඊයේ (19) ආරම්භ කෙරිණි.

පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන්ගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම ඊයේ ආරම්භ විය. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කරයි.

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර දිනපතා පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙයි.