කොළඹ නගරය ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල රථවාහන ධාවනයට බාධාවන ලෙස ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටිමින් සිඟමනේ යෙදෙන යාචකයන්ට මුදල් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබේ.
රියැදුරන් විසින් හෝ වාහනයේ ගමන් ගන්නන් විසින් යාචකයන්ට මුදල් ලබා දීමට කටයුතු කළහොත් ඔවුන්ට දඩ මුදලක් නියම කිරීම පිළිබඳව පොලිසිය විසින් සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති(රථවාහන පරිපාලන සහ මාර්ග ආරක්ෂාව) ඉන්දික හපුගොඩ මහතා මේ බව ප්‍රකාශ කළේය.
යාචකයන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද රියැදුරන් එවැනි යාචකයන් සඳහා මුදල් ලබාදීම නතර කරන්නේ නම් ඔවුන් රැඳී නොසිටින බවයි ඔහු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පට ඔස්සේ රියැදුරන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රියැදුරන්ගේ විශේෂ අවධානය යොමු කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.

