මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ “එළවළු දන්සැලක්” මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ ඊයේ (08) දින පැවැත්විණි.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුලු එළවළු ව්‍යාපාරික සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකම හිමිකරුවෙකු වන ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා තෙවෙනි වතාවට මෙම එළවළු දන්සල සංවිධානය කර තිබුණි.
දන්සල තිබූ ස්ථානයේ සිට මහරගම දෙසට කිලෝ මීටර දෙකකට ආසන්න දුරක් මාර්ගය අයිනේ ජනතාව පෝලිම් ගැසී සිටින ආකාරය ද දක්නට ලැබුණි.
කොවිඩ් වසංගත සමයේදී රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමැති එළවළු තොගයක් හෝමාගම ප්‍රදේශයේ ජනතාවට බෙදාදීමත් පසුව වසර දෙකකට පමණ පෙර කොට්ටාව ප්‍රදේශයේ දී අට දහසකට ආසන්න ජනතාවක් වෙනුවෙන් ඒ ආකාරයෙන්ම එළවළු පරිත්‍යාග කිරීම සිදු කර තිබුණි
මහා සංඝරත්නයේ ආශිර්වාද මත සවස 4 ට පමණ දන්සැලෙහි කටයුතු ආරම්භ කල අතර එළවළු ලබා ගැනීම සදහා දන්සල පැවැත්වෙන ස්ථානයට ජනතාව දහවල් 11 සිටම පැමිණ පෙළ ගැසී සිටි ආකාරයක් දක්නට ලැබුණි.
මෙහිදී එක් අයෙකුට එළවළු වර්ග 16 ක් අඩංගු පාර්සලයක් ලබා දීමට කටයුතු කල බවත් දන්සැල සදහා රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් වැය වෙන්නට ඇති බවට තමන් සිතන බවත් ඒ පිළිබදව වැය වූ මුදල ගණනය නොකල බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.


