Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්ද්‍රව්‍ය විනාශ කිරීමට පොලිසියට අධිබලැති උඳුනක් (ඡායාරූප)

3 years ago

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග පිටින් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා පොලිසිය විසින් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ අධි බලැති උදුනක් ස්ථාපිත කර තිබේ.

මත්ද්‍රව්‍ය තොග සෙල්සියස් අංශක අටසියයත් දහසත් අතර දක්වා උෂ්ණත්වයකින් විනාශ කරන බවත්, ඒ සඳහා පැය අටක කාලයක් ගත වෙන බවත් පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ අධි බලැති උදුන ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් කිලෝ පහළොවක් සහ ඩීසල් ලීටර් හතරක ප්‍රමාණයක් වැය වන බවද පොලිසිය සඳහන් කරයි.

‘‘විශේෂ මෙහෙයුම් මගින් මෙන්ම නිලධාරීන් වෙත ලද තොරතුරු මත විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය විනාශ නොකරන බවට මහජනතාව විසින් පොලිසියට චෝදනා එල්ල කළත්, මීට පෙර අවස්ථා කිහිපයකදීම නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොග කිහිපයක් පුත්තලම INSEE සිමෙන්ති කර්මාන්ත ශලාවේ උඳුන භාවිත කරමින් විනාශ කළා’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

‘‘නමුත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා වැය වන විශාල මුදල් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි රුපියල් මිලියන එකොළහක වියදමින් මෙම අධිබලැති උදුන ස්ථාපිත කළා. මින් ඉදිරියට සියලු මත්ද්‍රව්‍ය තොග මෙම උදුන භාවිත කරමින් විනාශ කරනවා’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ සහරාන් හෂීම් ගිනි අවි පුහුණුව සහ පුපුරන ද්‍රව්‍ය තබාගත් වනාතවිල්ලුව ප්‍රදේශයේ ලැක්ටොස් වත්ත ඉඩමෙහි පර්චස් විස්සක භූමියේ මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා වන නව අධිබලැති උඳුන ස්ථාපිත කර තිබේ. මෙම ඉඩම පොලිස් වි‍ශේෂ කාර්යය බළකායට හිමි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.