බෝර 12 පතුරම් තුවක්කුවකින් පසුගිය 18 වැනිදා රිළවෙකුට තැබූ වෙඩිල්ලක් හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකගේ ඇසට වැදීමෙන් ඇය බරපතළ තුවාල ලබා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසනවා.
මෙම වෙඩි තැබීමෙන් ඇය සමග අසල සිටි වයස අවුරුදු 12ක් වූ ඇගේ මිනිපිරියද සුලු තුවාල ලබා තිබෙනවා.
මෙම කාන්තාව ඇගේ විවාහක දුව සිටින වෙලම්බොඩ ප්රදේශයට ගොස් ඇති අතර එහිදි ඇය හා මිනිපිරිය නිවසේ එළිමහනේ සිටියදි එක්වරම නැගුණු වෙඩි ශබ්දයක් සමගින් මොවුන් තුවාල ලබා තිබෙනවා.
මෙය කොහේ සිය පැමිණි වෙඩිල්ලක්ද යන්න තහවුරු කර ගැනීමට නොහැකිව තිබියදි ගම්පොල ස්ථානීය පරීක්ෂණ අංශය හා වෙලම්බොඩ පොලීසිය විසින් පරීක්ෂණයක්ද අරඹා තිබුණා.
කාන්තාව තුවාල ලබා ඇත්තේ නියත වශයෙන්ම වෙඩි තැබීමෙන් බව තහවුරු කර ගැනීමෙන් පසු අවට සෝදිසි මෙහෙයුමක්ද ඇරඹු බවයි පොලීසිය පවසන්නේ.
පොලිස් පරීක්ෂණ වලදී මෙම නිවසට මීටර් 50ක දුරින් පිහිටි නිවසක ඉදිරිපට ඇති කොස් ගසක සිදුව තිබූ තුවාල හා තවත් ගසක සිදුවූ පොතු ගැලවීම් සමග ඒ අසල සිටි නිවැසියාගෙන් ප්රශ්න කර ඇති අතර එහිදි ඔහු එය ප්රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තුවක්කුවක් තමා සතු නොවන බව පවසමින්.
නමුත් පොලීසිය සිදුකළ උපක්රමශීලි ප්රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තම නිවස ඉදිරිපිට කොස් ගසේ සිටි රිළවෙකුට වෙඩි තැබූ බවයි. එමෙන්ම නිවැසියා උඩුමහලේ සිට පහළට වෙඩි තැබීම නිසා මෙම අනතුර සිදුව ඇති බවත් පසුව අදාල නිවැසියා විසින් පන්විල ප්රදේශයේ පවතින තම ගොවිපෙළ වෙත සිය පුත්රයා අත තුවක්කුව යවා ගොවිපලේ සඟවා ඇති බවත් හෙළිව තිබෙනවා.
පසුව පොලීසිය විසින් එදින රාත්රියේම ගොවිපල වෙත ගොස් තුවක්කුව සොයාගෙන පසුව නිවැසියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි තැබූ කාන්තාව රෝහල් ගත කර ඇති අතර ඇගේ පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ ඇස තුළ වෙඩි උණ්ඩයක් තිබන බවයි.(source – monara)

