ඉරාන ජනපති ඊබ්‍රයිම් රයිසි මියගිය අනුවේදනීය පුවත වාර්තා වූ මොහොතේම සිදු වූ තවත් එක් අහඹු සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ ඉරාන ජනාධිපතිවරයා මෙරට කෘෂිකර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට එවා තිබූ ත්‍යාගයක් ඉරාන ජනාධිපතිවරයා මියගිය බවට නිල වශයෙන් නිවේදනය වූ මොහොතේම අමාත්‍යවරයාට ලැබීමේ පුවතයි.
උමා ඔය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහුගේ පරිවාර අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයායි.
එහිදී ඉරානයේ සංචාරයක නිරත වන ලෙස ඉරාන ජනාධිපතිවරයා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ඉරානයේ සංචාරයක එක් වූ අමාත්‍ය අමරවීර එරට විදේශ ඇමති හා කෘෂිකර්ම ඇමති මුණගැසුණද ඉරාන ජනාධිපතිවරයා මුණ ගැසීමට නොහැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
අමාත්‍යවරයා යළි මෙරටට පැමිණීමෙන් පසු ආගමික සංකේතයක් සංකේතවත් කරන ත්‍යාගයක් ඉරාන ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයාට එවා ඇති අතර ඔහු මියගිය බව තහවුරු වූ මොහොතේම එය අමාත්‍ය අමරවීරට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

