Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාවට අනතුරු ඇඟවීම්! මි.මී. 350 ඉක්ම වූ තද වැසි!

2 years ago

මිලිමීටර් 350කට අධික වර්ෂාවක් කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර සදහන් කරයි.

ඉදිරියේ දී ඇදහැගෙන සුළු වර්ෂාවකදී පවා නායෑමේ අනතුරු සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කරනවා.

ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර තවදුරටත් සදහන් කළේ,
”කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 350ට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ජනතාව ඒ සම්බන්ධව අවධානයෙන් සිටින්න ඕනේ. ඉදිරියේදී ලැබෙන සුළු වර්ෂාවකින් වුවද කණ්ඩි කඩා වැටීම් සහ නායයෑම් අනතුරක් සිදුවිය හැකියි.”

මේ අතර කොළඹ, ගම්පහ කළුතර, කෑගල්ල, නුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ අදාළ අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා.

එමෙන් ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 02 යටතේ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඔවිට, රුවන්වැල්ල, දැරණියගල, යටියන්තොට, බුලත්කොහුපිටිය, වරකාපොළ, මාවනැල්ල සහ ගලිගමුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසලටත් අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මකයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, රත්නපුර, අයගම, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට, බලන්ගොඩ, ඇලපාත සහ ඉඹුල්පේ ප්‍රාදේශී ලේකම් කොට්ඨාසවලටත් අදිරය දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරන බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය‌ ලේකම් කොට්ඨාසයටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදිරිය 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, වලල්විට, අගලවත්ත සහ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවසවලටත් එය බලාත්මකයි.

කළුතර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර, ගඟ ඉහළ කෝරළ, යටිනුවර, උඩුදුම්බර, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත් වන අය නායයෑම් පිළිබඳව විමසිලිමත්ව සිටිය යුතුයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, පැල්මඩුල්ල, ඔපනායක සහ කහවත්ත යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට පස්වරු 04 දක්වා බලාත්මකයි.