Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීමත් පුද්ගලයෙක් මගීන් එක්ක බස් රථයක් පැහැරගනී

2 years ago

පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක්  ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි පිටස්තරයකු බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව  සුසාන භූමිය  අසල අතහැර දමා ගොස් ඇති බව දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

පිටස්තර පුද්ගලයකු බස් රථයට ගොඩ වී එය පණ ගන්වා ගෙන ධාවනය කරගෙන යද්දී එහි සිටි සෙසු මගීන් බියට පත් වී කෑ ගසා තිබේ.

කොළඹ සහ ත්‍රිකුණාමලය මුතූර් අතර ධාවනය වන මෙම පෞද්ගලික මගී බස් රථය මුතූර් බලා ධාවනය වන අතරවාරයේ පසුගිය බදාදා රාත්‍රි 9ට පමණ පහළ වැව හෝටලය අසල ආහාර ගැනීම සඳහා නතර කර තිබෙනවා.

එහිදී බස් රථයේ රියැදුරු කොන්දොස්තරවරයා ඇතුළු බස් රථයේ  සිටි මගීන්ගෙන් කොටසක් තේ පානය කිරීම සඳහා හෝටලයට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුද්ගලයකු හෝටලය අසලදී රියැදුරා සහ කොන්දොස්තරවරයා සමග ආරවුලක් ඇති කරගෙන ඇති බව පොලිසිය පවසනවා.

බීමතින් සිටි බව කියන මෙම පුද්ගලයා හෝටලයෙන් පිටවී බස් රථයට ගොඩ වී එහි තිබූ යතුරෙන් බස් රථය පණ ගන්වාගෙන මගීන් ද සමග බස් රථය පැහැරගෙන පලා ගොස් තිබෙනවා.

මේ බව දුටු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා ත්‍රී රෝද රථයක නැගී පැහැරගෙන යමින් සිටි රැගෙන යන බස් රථය පසුපස හඹා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එම අවස්ථාවේදී සැකකරු ඉබ්බන්කටුව සුසාන භූමිය අසල බස් රථය නතර කර පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ ඒ වනවිටත් බස් රථය කිලෝමීටර් හතරකට වැඩි දුරක් ධාවනය කරගෙන පැමිණ ඇති බවයි.