නානුඔය ප්‍රදේශයේ පිහිටි කැලණිවැලි වතු සමාගමට අයත් නුවරඑළිය පීඩෲ වතුයායේ ප්‍රධාන කාර්යාලයට පසුගිය බ්‍රහස්පතින්දා සවස මැර පිරිසක් සමග පැමිණි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් වතු පාලන අධිකාරියේ නිලධාරීන්ව කාර්යාල අඩස්සියට පත් කරමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
කැලණිවැලි වතු සමාගමට අයත් උඩ රදැල්ල වතුයායේ සේවය කළ කම්කරුවන් කිහිප දෙනෙකුගේ සේවය තහනම් කර ඇති අතර ඔවුන් යළි සේවයේ පිහිටුවීමට එම සමාගම් කළමනාකාරීත්වය එකඟතාව පළ නොකිරීමට විරෝධය පළ කරමින් අමාත්‍යවරයා මෙලෙස කළහකාරී ලෙස හැසිරී තිබුණා.
එම වතු සමාගමට අයත් නානුඔය උඩ රදැල්ල වතු යායේ වතුපාලන අධිකාරිය තේ ගස් ගලවා කෝපි වගා කිරීමට පසුගියදා තීරණයක් ගෙන තිබුණා. නමුත් කම්කරුවන් පිරිසක් පාලනාධිකාරියේ එම තීරණයට විරෝධය පළ කිරීම හේතුවෙන් ඔවුන්ගේ සේවය තාවකාලිකව තහනම් කිරීමටයි පාලනාධිකාරිය පියවර ගෙන තිබුණේ.
මේ සම්බන්ධයෙන් වතු සේවකයන් නුවරඑළිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් ද සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් 30 වනදා උදෑසන දෙපාර්ශවයෙන්ම කැඳවා සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එයට අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ද සහභාගී වී තිබේ.
නමුත් වතු පාලන අධිකාරිය තාවකාලිකව වැඩ තහනම් කළ වතු සේවකයන් යළිත් සේවය පිහිටවීමට එකඟතාව පල නොකිරීම හේතුවෙන් එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව නිමා වී ඇත.
එදිනම පස්වරුවේ ප්රීඩෲ වතුයායේ ප්‍රධාන කාර්යාලයට කඩා වැදුණු ජීවන් තොණ්ඩමන් එයට විරෝධය පළ කරමින් වතු සාමගමේ නිළධාරීන්ව කාර්යාල අඩස්සියට ගනිමින් වතු සමාගමේ නිෂ්පාදනය කරන නිමි තේ කොළඹ වෙන්දේසි සඳහාද රැගෙන යාමට ඉඩ ලබා නොදෙන බවට තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරී ඇත.
එමෙන්ම බොරලන්ද මංසන්ධියෙන් මහා මාර්ගය පවා වසා දමමින් අමාත්‍යවරයා හා ඔහුගේ ආධාරකරුවන් මාර්ගයේ ගමන් කරමින් සිටි ජනතාවද අපහසුතාවයට පත් වන අයුරින් හැසිරී තිබුණේ පොලිසිය පවා බලා සිටියදීය.
මෙම කලහකාරී හැසිරීම් හේතුවෙන් වතු සේවකයන් නැවත සේවයේ පිහිටුවීමට වතු පාලන අධිකාරිය තීරණය කර ඇති අතර එම තීරණයත් සමඟ විරෝධතා නතර කිරීමට ජීවන් තොන්ඩමන් හා ඔහුගේ ආධාරකරුවන් පියවර ගෙන තිබෙනවා.
විදෙස්ගතව හොඳ අධ්‍යාපනයක් ලබා තිබෙන බව පැවසුවද අමාත්‍යවරයාද ඔහුගේ පියාගේ අඩි පාරේ යමින් ඉන්දියානු චිත්‍රපට පන්නයේ ක්‍රමයට ප්‍රශ්න විසඳා ගන්නා ආකාරයක් තමා මෙයින් පෙනී යන්නේ. අමාත්‍යවරයා මෙලෙස හැසිරුනු පළමු අවස්ථාවද මෙය නොවේ.
පීඩෘ වතු යාය යනු ලොව පුරා ජනප්‍රියත්වයට පත් වතුයායක් වන ඇතැම් අවස්ථාවන්හිදී විදේශීය තානාපති නියෝජිතයන් පවා මෙහි නිරීක්ෂණ චාරිකා සඳහා එක්වන්නේ මෙම වතු යාය ගොඩනගා ගෙන ඇති කීර්ති නාමය හේතුවෙනි.
එවන් ස්ථානයක පාලනය සඳහා මෙලෙස බලපෑම් කිරීම කිරීමෙන් හානි වන්නේ දශක ගණනාවක සිට අපේ රට රැක ගත් සිලොන් ටී නාමයයි.

