Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපනයේ පෙරළියක්! අවුරුදු 21න් උපාධිය!

2 years ago

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ අභියෝගාත්මක කටයුත්තට ප්‍රවේශ වූයේ විභාග කල් පසු වෙමින් පැවතීම නිසා අධ්‍යයන කටයුතු අතපසු වෙමින් යාමේ ගැටලුවලට මුහුණ දෙන වින්දිතයන් බවට පත් ව ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන්  කොළඹ නාලන්ද විද්‍යාලයේ අද පැවති වැඩසටහනකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

වර්තමාන ලෝකය රාජ්‍ය පරිපාලන අවධිය පසු කර කළමනාකරණ යුගය ද ඉක්මවා නායකත්ව යුගයකට පිවිස සිටින අවස්ථාවක අප අධ්‍යාපන ක්‍රමයේ ද වෙනසක් අත්‍යවශ්‍ය බව පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා දැනුමින් පිරි වත්මන් සමාජයේ අත්‍යවශ්‍ය දැනුම තෝරා බේරාගෙන ප්‍රායෝගික භාවිතයට ගැනීම පිළිබඳ ගැටලුවක් පවතින බවත් වෙනත් දියුණු රටවල අධ්‍යාපන මට්ටම්වලට ද උචිත පරිදි ඉදිරියේ දී ස්ටෙම් – ස්‍ටීම් අධ්‍යාපන ක්‍රමවේද භාවිතය අපේ පාසල් පද්ධතියට යොදා ගන්නා බවත් පැවසී ය. ඒ අනුව ඉදිරි ජූලි මාසය අවසන් වන විට සියලු විෂය ධාරා පවතින පාසල් සියල්ල ඒකරාශී කර තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරන අතර ප්‍රමුඛපාසල් 1500ක් පමණ ජාලගත කිරීමත් මේ වන විට ආරම්භ කර ඇති කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතිය 2025 ජනවාරි වන විට පාසල්වලට මුදා හැරීමත් සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. එසේ ම ඊට අවශ්‍ය ‘ස්මාට් බෝඩ්’ භාවිතය, අන්තර්ජාල ආදී දැනුම් මූලාශ්‍ර භාවිතයෙන් දැනුම යාවත්කාලීන කරගැනීමේ පරිචයක් ලැබෙන පරිදි අවශ්‍ය ගුරු පුහුණුවීම් ලබා දිය යුතු ව ඇති බවත් ඒ අතර ගුරුවරුන්ගේ ලෙඩ නිවාඩු ගැනීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ද මුහුණ දීම වශයෙන් උද්ගත වන අභියෝග ජයගත යුතු ව ඇත්තේ ලෙඩ නිවාඩු දැමිය නොහැකි දරුවන්ගේ අයිතිවාසිකම් රැක දීම වෙනුවෙන් බවත් පැවසී ය.

අවසන් වශයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සියල්ල සිදු කරන්නේ දරුවන්ගේ අපතේ යන කාලය බේරා දෙමින් නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21 වන විට ප්‍රථම උපාධියත් පශ්චාත් උපාධි වයස 23නුත් ආචාර්ය උපාධියක් වයස 27 වන විටත් සම්පූර්ණ කළ හැකි වන පරිදි අධ්‍යාපනය ලැබීමේ අයිතිය දරුවන්ට තහවුරු කර දීමේ පදනම සැකසීමේ අරමුණ පෙරදැරි ව බවයි. එම වගකීම ඉටු කිරීමට සහාය වන සැමට කෘතවේදී වන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.