දියණියක් හා මවක් එක්ව ජංගම දුරකථන වෙළඳසැලකින් ජංගම දුරකථනයක් සොරා ගැනීමට අදාළ වීඩියෝ පටයක් පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය්‍ය උණුසුම් කළේය.
ඒ අනුව ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරු විසින් දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සොරකම සිදු කළ මව සහ දියණිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබු අතර වෙළඳසැල් හිමිකරු විසින් අදාළ ජංගම දුරකථනයද පොලිසියට ඉදිරිපත් කර තිබුණි.
අදාළ තරුණියව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.
එමෙන්ම සොරා ගන්නා ලද ජංගම දුරකථනය හිමිකරුට ලබාදීමටද අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ජංගම දුරකථන අලෙවි සැලකට මවත් දියණියත් කුඩා දරුවෙකුද පැමිණ, ඉතා සූක්ෂම ලෙස එහි තබා තිබූ ජංගම දුරකථනයක් දියණිය විසින් සොරා ගන්නා ආකාරයත් තවත් ජංගම දුරකථන උපාංගයක් මව විසින් සොරා ගන්නා ආකාරයත් මෙම වෙළඳසැලේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුනා.
වෙළඳසැල් හිමියන් විසින් ආරක්ෂිත කැමරා පද්ධතියේ සඳහන්ව තිබූ රූප රාමු පෙළ සහ මව සහ දියණිය අතරමගදී වෙළඳසැල් හිමියන්ට දුරකථනය ලබා දුන් ආකාරය පිළිබඳ වීඩියෝපට සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා.
මෙම ජංගම දුරකථන සොරකම පිළිබඳ නඩුව ලබන ඔක්තෝම්බර් හත දින නැවතත් විභාගයට ගැනීමට නියමිතයි.


