Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අතුරුගිරියේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ගායන ශිල්පිනී කේ.සුජීවාගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනී

2 years ago

වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගැනුණු ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය හමුවේ ඊයේ (22) මිනිත්තු 40ක රහස් ප්‍රකාශයක් ලබාදී තිබේ.

එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අටදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරුවන් අටදෙනාම අගෝස්තු පස්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණි.

සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වාර්තාවක් අතුරුගිරිය පොලීසිය විසින් එම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම පොලීසිය අධිකරණයට සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින ගායන ශිල්පිණී කේ.සුජීවාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගත් බවයි.

තවද මියගිය ක්ලබ් වසන්තගේ සහ ගායන ශිල්පිනී කේ.සුජීවාගේ සැමියා වන නයන වාසුලගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාද පොලීසිය ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේය.

ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සංජුල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා කරුණු දක්වමින් සඳහන් කළේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් සමත්වී නොමැති බවය.

තවදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකාර දුලාන් සන්ජුල මාධ්‍ය ඉදිරියේ පොලිසියට කළ ප්‍රකාශය පොලීසියේ අවශ්‍යතාව අනුව සිදුකරන ලද්දක් බවය.

එබැවින් සිය සේවාදායක දුලාන් සන්ජුලට අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්ව පිළිබඳව එහිදී සැකකරුව දැනුවත් කළ මහෙස්ත්‍රාත්වරිය එම තත්ත්ව මත රහස් ප්‍රකාශය ලබාදීමට එකඟවන්නේ නම් දිවා විවේකයෙන් පසු ඔහුට එම ප්‍රකාශය ලබාදීමට හැකි බව ප්‍රකාශ කළේය.

ඒ අනුව සැකකරු ඊයේ පස්වරුවේ මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ විනාඩි 40ක පමණ කාලයක් රහස් ප්‍රකාශය සිදුකර තිබේ.

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වූ සුරේන්ද්‍ර වසන්ත හෙවත්  ”ක්ලබ් වසන්ත” ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කෙරුණේ ජූලි 08 වැනිදාය.