පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලට යකඩ සහ ෆෝලික් අම්ලය අන්තර්ගත කෘත්‍රිම සහල් එක් කිරීමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මාසයේ දී ය.
මෙම වැඩපිළිවෙළ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ 2018 වසරේ ජූලි මස 31 වැනිදා ය. ඒ රක්තහීනතාව සහ රක්තහීනතාව සම්බන්ධ ගැටලු අඩු කර ගැනීම සඳහා සුලභව භාවිත කරන ප්‍රධාන ආහාර, යකඩ සහ ෆෝලික් අම්ලය යොදා සබලකරණය යන මැයෙන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව ය.
යකඩ සහ ෆෝලික් අම්ලය යොදා සහල් සහ තිරිඟු පිටි ඇතුළු ප්‍රධාන ආහාර සබලකරණය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීම, පරිභෝජනය කරන සියලු තිරිඟු පිටි යකඩ සහ ෆෝලික් අම්ලය යොදා සබලකරණය අනිවාර්ය කිරීම, යකඩ සහ ෆෝලික් අම්ලය යෙදූ සහල් ඇට තීරු බදු රහිතව ආනයනය කිරීම ඇතුළු යෝජනා ගණනක් එම පත්‍රිකාවේ අන්තර්ගත විය.
මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන්නේ ඒ වන විටත් යකඩ සහ ෆෝලික් අම්ලය යොදා සබලකරණය කරන ලද එනම්, යකඩ සහ ෆෝලික් අම්ලය යොදා නිෂ්පාදනය කළ කෘත්‍රිම සහල් මෙට්‍රික් ටොන් 19800ක් ලෝක ආහාර වැඩසටහන මගින් ආනයනය කර නොමිලේ සැපයීමේ එකඟතාවක් ද සමගිනි. ඇමරිකාවේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සහාය ද ඒ සඳහා ලැබෙන්නේ ය.
එලෙස ආනයනය කෙරෙන කෘත්‍රිම සහල් දේශීය සුදු නාඩු සමග මිශ්‍ර කර පාසල් දිවා ආහාර වැඩසටහනට සැපයීමේ කාර්යය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය භාර ගෙන තිබිණි. මිශ්‍ර කිරීම යනු දේශීය සුදු නාඩු සහල් ඇට 99කට කෘත්‍රිම සහල් ඇටයක් එකතු කිරීම ය. කෘත්‍රිම සහල් එලෙස මිශ්‍ර කෙරෙන්නේ අනුරාධපුරය කලන්කුට්ටිය සහල් සබලකරණ මධ්‍යස්ථානයේ දී ය.
පසුගිය අප්‍රේල් මාසයේ දී ආරම්භ කළ නියමු ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑව, තඹුත්තේගම, කැකිරාව, ගලෙන්බිඳුණුවැව, දිඹුලාගල සහ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපවල දරුවන්ට ඒවා ලබා දෙයි. ඉදිරියේ දී අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, කුරුණෑගල, අම්පාර, මඩකලපුව, බදුල්ල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල දී පමණක් පාසල් දරුවන්ගේ ආහාර වේල් විසි තුන් ලක්ෂයකට පමණ සබලකරණය කරන ලද සහල් කිලෝග්‍රෑම් එක් ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පහක් ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් පාසල්වලට ලබා දී තිබේ.(aruna)


