මුලතිව්, පුදුකුඩීඉරිප්පු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය සලකුණු කළ නිල ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූපගත කළ පුද්ගලයාව මුලතිව් පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකි.
එම විදුහල්පතිවරයා දෙමළ අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කොට එම නිල ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප කීපයක් ගෙන තිබෙනවා.
එම සිද්ධිය දුටු වෙනත් අයෙක් ඒ පිළිබදව මැතිවරණ නිලධාරීන්ට පැමිණිලි කර ඇති බව සඳහන්.
පසුව මැතිවරණ නිලධාරීන් මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඒ බව දන්වා තිබෙනවා.
එම නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අදාල විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලිසියට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඔහු ලබා ගත් ඡායාරූප හා එම ඡායාරූප කීප දෙනෙකු වෙත යවා ඇති ආකාරයත් පොලීසියට නිරීක්ෂණය වීම නිසා ඔහුගේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ තම ඡන්දය ස්ථිර වශයෙන්ම එම අපේක්ෂකයා වෙත සලකුණු කළ බව එම අපේක්ෂකයාට තහවුරු කිරීම පිණිස ඔහුට යැවීමට එහි ඡායාරූප ගත් බවයි.
අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුලතිව් මැතිවරණ නිලධාරීන් හා පොලීසිය පියවර ගෙන තිබෙනවා.


