සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද(09) පස්වරුවේ මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට පැවති මහජන රැළිය අතරතුර සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් 07 දෙනෙක් හා තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
රැළිය අතරතුර සිදු කළ රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් මොවුන් නවදෙනා තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනෙකුත් ආරාධිත අමුත්තන් සිය කතාවන් ආරම්භ කරන අවස්ථාවේ රතිඤ්ඤා දැල්වීම සිදුකොට ඇති අතර සජිත් ප්‍රේමදාස පැමිණෙන අවස්ථාවේ දැල්වීම සඳහා පසෙක ගොඩ ගසා තිබූ රතිඤ්ඤා ගොඩකට දැල්වූ රතිඤ්ඤාවල ගිනි පුපුරු පතිත වීමෙන් එම රතිඤ්ඤා ගොඩද හදිසියේ පුපුරා යාම හේතුවෙන් ඒ අසළ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද තුවාල ලබා ඇති බව සඳහන්.
මෙම හදිසි අනතුරින් තුවාල ලැබූවන් මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූවන් අතර බරපතල තත්ත්වයේ රෝගීන් නොමැති බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් හට ප්‍රතිකාර ලබාදීමෙන් පසු මහනුවර ජාතික රෝහලේ 09 හා 10 වාට්ටු වෙත ඇතුළත් කළ බව මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කළා.


