නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන්නේ මෙරට නව වැනි ජනාධිපතිවරණයයි.
අප දැන් යොමුවන්නේ, මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය පිළිබඳ ගෙනඑන සටහනකට වන අතර මෙවර ජනාධිපතිවරණයේදී බිඳ වැටෙන වාර්තාවක් පිළිබඳව අපි අද කතා කරමු.
1978 වසරේදී ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළමුවරට විධායක ජනාධිපතිධුරයක් හඳුන්වා දෙනු ලැබූ අතර ඒ අනුව මෙරට පළමු ජනාධිපතිවරණය 1982 දී පැවැත්වුණි.
එහිදි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වු එවක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා 52.91 % ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට ලබාගත හැකි වූයේ 39.07 % ක් පමණයි.
1988 පැවති දෙවන ජනාධිපතිවරණයේදි එවක අගමැති වූ රණසිංහ ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වු අතර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරගවැදුණි.
එහිදී 50.43 % ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ රණසිංහ ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත් වූ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලබා ගත්තේ 44.95% ක් පමණයි.
මෙරට තුන්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වන ඡන්දය පැවැත්වුණේ 1994 වසරේදිය.
එහිදි පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 62.28 % ක් ලබා ජයගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ ශ්‍රීමා දිසානායක මහත්මියට ලබාගත හැකි වූයේ 35.91 % කි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලබා ගත් 62.28% ඡන්ද ප්‍රතිශතය මෙරට ජනාධිපතිවරයකු වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් ඉතිහාසගත වී තිබේ.
1999 වසරේ පැවති ජනාධිපතිවරණයට නැවත වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් වු අතර එහිදි ඇය 51.12 % ක් ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජන කරමින් ඉදිරිපත් වු රනිල් වික්‍රමසිංහ මහතාව පරාජයට පත් කරමින්ය.
2005 වසරේ පැවැති ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතා තරග වැදුණු අතර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතායි.
මහින්ද රාජපක්ෂ මහතා 50.29% ක් ලබා ගනිමින් තියුණු ජයග්‍රහණයක් වාර්තා කළ අතර රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වුයේ 48.43 % ක් පමණයි.
2010දි නැවත වරක් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය වෙනුවෙන් තරග කළ අතර එහිදි ඔහු 57.88% ක් ලබා ගත්තේ එවර ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාව පරාජයට පත් කරමින්ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේදි නව ප්රජාතන්ත්රවාදි පෙරමුණින් තරග වැද 51.28 % ක ප්‍රතිශතයක් ලබාගත් අතර එවක ජනාධිපතිධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැකි වූයේ 47.58 % ක් පමණයි.
2019 වසරේ පැවැති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වැදුණු අතර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතායි.
ගෝඨාභය රාජපක්ෂ මහතා 52.25%ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළ අතර සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගත හැකි වූයේ 41.99%ක් පමණි.
මෙම ප්‍රතිඵල දෙස අවධානය යොමු කිරීමේදී අපට පෙනී යන්නේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 90%කට අධික සංඛ්‍යාවක් බෙදී ගොස් ඇති බවයි.
මෙතෙක් පැවති ජනාධිපතිවරණයන්හිදී තෙවැනි ස්ථානයට පත් වූ අපේක්ෂකයින් අතරින් වැඩිම ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ 1988 ජනාධිපතිවරණයේදීයි.
එවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා මහජන පක්ෂය නියොජනය කරමින් තරග වැදුණු ඔස්ටින් අබේගුණසේකර 04.63ක් හිමිකර ගැනීමට සමත් විය. නමුත් එවර මැතිවරණයේ පැවති විශේෂත්වය වන්නේ ජනපති අපේක්ෂකයින් තිදෙනෙක් පමණක් එවර තරග වැදීමයි.
දේශපාලන විශ්ලේෂකයින් සියලු දෙනා සඳහන් කරන්නේ මෙවර එම වාර්තාව බිඳ වැටෙන බවයි. මෙවර ජනාධිපතිවරණයේදී තෙවැනි ස්ථානයට පත්වන අපේක්ෂකයාද 10% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.

