ව්‍යාපාරික පැලැන්තිය පමණක් පොහොසත් නොකොට ජනතාව පොහොසත් කරන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
“අද ඉතා සාර්ථක ආසන බලමණ්ඩලයක් පැවැත්වෙනවා. අප ලංකාවේ හැම ආසනයකටම ගොස් අපේ පාක්ෂිකයන් මුණගැසෙනවා. අපටත් බස් දාලා මහා රැස්වීම් කරන්න පුළුවන්. ඊට වඩා අපට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. බස් දාලා මහා රැස්වීම් කරනවා වෙනුවට, ඊට පෙර ගමට පැමිණ ඔබ හමු වනවා. ගම කේන්ද්‍ර කරගත් මේ රටේ මහජනතාව විසින් ගොඩනඟපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා විශාල පිරිසක් ඉන්නවා. එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අපේ රටට නොගැළපෙන නිසා බණ්ඩාරනායක, ඩී.ඒ. රාජපක්ෂ මහත්වරුන් පංච මහා බලවේගය කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවා.
ඒ හා සමානව යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වුණාම මහින්ද රාජපක්ෂ මහතා සහ පංචමහා බලවේගය, රණවිරුවන් සහ රටවිරුවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟුවා.
“අපට වගකීමක් තිබෙනවා අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න; අපේකම ආරක්ෂා කරන්න. ඒ වගේම අපට යුතුකමක් තිබෙනවා අප විශ්වාස කළ පාක්ෂිකයන් ආරක්ෂා කරන්න. ඇතැම් දේශපාලනඥයන් හිතාගෙන ඉන්නවා ජනතාව ඉන්නේ තමන් නිසා කියලා. අප ඒ අයට මතක් කර දෙනවා. දේශපාලනඥයොත් නායකයොත් බිහි වෙන්නේ ජනතාව නිසා කියන එක අමතක කරන්න එපා. අද බොහෝ අයට ඒක අමතක වෙලා තිබෙනවා. අපි දේශපාලන වේදිකාවේ එකිනෙකාගේ වැරැදි පෙන්වා දීලා පලක් නැහැ. අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අනෙකාගේ චරිතය ඝාතනය කරනවා වෙනුවට අපි මේ රටේ අනාගත දරු පරම්පරාව ගොඩනඟන්නේ කොහොමද කියා කල්පනා කරනවා. අපි විශ්වාස කරන බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වන පරිසරයක් තුළ අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කරන්නේ කොහොමද. අම්මා, තාත්තා දරුවන් උස් මහත් කරන්නේ හොඳ පුරවැසියෙක් බවට පත්කරන්නයි. ඔවුන්ට රැකියාවක් ලබාගන්න”
ඔහු මේ බව පැවසුවේ හිරියාල නගරයේදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආසන සම්මේලනය අමතමිනි.

