Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

2 years ago

ජාතික මැතිවරණයන්හි අවසන් ප්‍රතිඵලය කෙරෙහි බලපෑම් එල්ල කරන තීරණාත්මක දිස්ත්‍රික්කයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය හඳුන්වාදෙන්න පුලුවන්. කොළඹ දිස්ත්‍රික්කය ඡන්ද බල ප්‍රදේශ 15කින් සමන්විතයි. මෙවර ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය තුළින් ඡන්දය භාවිතා කිරීම සඳහා 1,765,351 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

අපි මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ පැවති ජනාධිපතිවරණයන් 8හිදී කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳවයි.

කොළඹ දිස්ත්‍රික්කයට අයත්වන ආසන හා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවන්

1976 වසරේ දී නොයෙල් තිත්තවැල්ල කොමිසම ඉදිරිපත් කළ සීමා නිර්ණයෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කය ආසනවලට බෙදුණු ආකාරයට යි.

1) උතුරු කොළඹ (98,133)
2) මැද කොළඹ (119,890)
3) බොරැල්ල (63,642)
4) නැගෙනහිර කොළඹ (68,495)
5) බටහිර කොළඹ (42,474)
6) දෙහිවල (66,789)
7) රත්මලාන (71,177)
8) කොලොන්නාව (144,454)
9) කෝට්ටේ (76,838)
10) කඩුවෙල (203,706)
11) අවිස්සාවේල්ල (134,118)
12) හෝමාගම (215,075)
13) මහරගම (144,113)
14) කැස්බෑව (194,430)
15) මොරටුව (122,017)

උතුරු කොළඹ ආසනය 

අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශවයේ බලකොටුවක් බවට පත්වුණු මෙම ආසනය ඔවුන්ට අහිමි වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි. 

මැද කොළඹ ආසනය 

කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින ආසන අතරින් එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායකම ආසනය වන මැද කොළඹ ඡන්ද බල ප්‍රදේශයෙන් සෑම විටම ඔවුන්ගේ සහයෝගය ලබාගත් අපේක්ෂකයා ජයග්‍රහණය කළේ ඉතාමත් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්. නමුත් 1994 ජනාධිපතිවරණයේදී ඔවුනට මෙම ආසනයේ පරාජය උරුම විය.

බොරැල්ල ආසනය 

අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශවයට වාසිදායක ආසනයක් වුණු මෙම ආසනය ඔවුන්ට අහිමි වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණි.

නැගෙනහිර කොළඹ ආසනය

කොළඹ නගරය කේන්ද්‍ර කරගත් අනෙකුත් ආසන මෙන්ම 1994 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට මෙම ආසනයේද පරාජය උරුම විය.

බටහිර කොළඹ ආසනය 

1994 ජනාධිපතිවරණය හැර අනිත් ජනාධිපතිවරණ 6 දී එක්සත් ජාතික පක්ෂය සහයෝගය ලබාදුන් අපේක්ෂකයා බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කර තිබේ.

දෙහිවල ආසනය 

පසුගිය මැතිවරණ ප්‍රතිඵල අධ්‍යයනයේදී පෙනී යන්නේ දෙහිවල ආසනයද එක්සත් ජාතික පක්ෂයට වාසිදායක ආසනයක් බවයි. 1994 ජනාධිපතිවරණයේ දී පමණක් එක්සත් ජාතික පක්ෂය සහයෝගය ලබාදුන් අපේක්ෂකයා දෙහිවල ආසනය පරාජයට පත්ව තිබෙනවා.

රත්මලාන ආසනය 

පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජනාධිපතිවරණය ජය ගන්නා අපේක්ෂකයා විසින් මෙම ආසනයේ ජය තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව 1982, 1988, සහ 2015 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය සහාය දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කළ රත්මලාන ආසනය, 1994,1999,2004,2010 හා 2019 පැවති ජනාධිතිවරණයන්හිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළා. 

කොලොන්නාව ආසනය 

මෙම ආසනයේ ජයග්‍රහණය දෙපිලටම දෝලනය වෙමින් පවතින අතර 1982, 2005, සහ 2015 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය සහාය දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කළත්, ඉතිරි අවස්ථාවන්වල දී ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම සහාය දුන් අපේක්ෂකයායි. 1988 පැවති ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද ඔවුනට එවර මෙම ආසනයේ ජයග්‍රහණය හිමිවූයේ නැහැ. පැවති අනෙකුත් සෑම ජනාධිපතිවරණයකදීම ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයා මෙම ආසනයේ ජය තහවුරු කරගෙන තිබෙනවා.

කෝට්ටේ ආසනය 

මෙම ආසනය 1988, 1994, 1999, 2010 සහ 2019  ජනාධිපතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල සහාය දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කළ අතර ඉතිරි ජනාධිපතිවරණයන්හිරී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කරගත් කණ්ඩායමේ අපේක්ෂකයා ජයග්‍රහණය කළා.

කඩුවෙල ආසනය 

අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් වාමාංශික කඳවුරට වාසිදායක වුණු මෙම ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණි.

අවිස්සාවේල්ල ආසනය 

පළමු ජනාධිපතිවරණයන් ද්විත්වයෙහිදී එනම් 1982 සහ 1988 ජනාධිපතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය මෙම ආසනය ජයග්‍රහණය කළා. නමුත් 1994 වසරේ සිට පැවති සෑම ජනාධිපතිවරණයකදීම මෙම ආසනය ජයග්‍රහණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලයි.

හෝමාගම ආසනය 

කඩුවෙල ආසනය මෙන්ම මෙම ආසනයද අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු මෙම ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණයි. 

මහරගම ආසනය 

අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු මෙම ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණයි. 

කැස්බෑව ආසනය

කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින ආසන අතුරින් සෑම ජනාධිපතිවරණයක දීම එකම පිලකට ජයග්‍රහණය හිමිවුණු  එකම ආසනය වන්නේ කැස්බෑව ආසනයයි. පැවති සෑම ජනාධිපතිවරණයකදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් කඳවුර මෙම ආසනයේ ජය තමන් සතු කරගත්තා.

මොරටුව ආසනය 

පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජනාධිපතිවරණය ජය ගන්නා අපේක්ෂකයා විසින් මෙම ආසනයේ ජය තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව 1982, 1988, සහ 2015 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය සහාය දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කළ මොරටුව ආසනය, 1994,1999,2004,2010 හා 2019 පැවති ජනාධිපතිවරණයන්හිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කර ඇත

කොළඹ දිස්ත්‍රික් ජයග්‍රහණය තීරණය කරන ආසන 4

කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින ආසන 15 සැලකූ විට ඉන් ආසන 11කම යම්කිසි දේශපාලන පක්ෂයකට වාසි සහගත තත්වයක් දැකගත හැකිය. කොළඹ නගරය කේන්ද්‍ර කරගත් උතුරු කොළඹ, මැද කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල, සහ දෙහිවල යන ආසන 6 එක්සත් ජාතික පක්ෂයට වාසිදායක තත්තවයක් අත් කර දී ඇත.

කොළඹ නගරයෙන් පිටත කැළණි මිටියාවතෙහි පිහිටා තිබෙන හෝමාගම, අවිස්සාවේල්ල, කඩුවෙල, කැස්බෑව සහ මහරගම යන ආසන සෑමවිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික කණ්ඩායමට වාසිදායක ලෙස හැසිරී ඇත.

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර තියුණු තරගයක් පවතින සෑම අවස්ථාවකදීම දිස්ත්‍රික් ජයග්‍රහණය තීරණය වී ඇත්තේ රත්මලාන, කොලොන්නාව, කෝට්ටේ, සහ මොරටුව යන ආසනවල ප්‍රතිඵල මතයි.

1982 ජනාධිපතිවරණය

1988 ජනාධිපතිවරණය

1994 ජනාධිපතිවරණය

1999 ජනාධිපතිවරණය

2004 ජනාධිපතිවරණය

2010 ජනාධිපතිවරණය

2015 ජනාධිපතිවරණය

2019 ජනාධිපතිවරණය