ආණ්ඩුවේ පළවෙනි ගැසට්ටුවෙන්ම ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට යෝජනා කිරීම ආණ්ඩුව නොදන්නාකමට සමාගම්වලට අහුවෙලාද, දැනුවත්ව විකිණිලාද? යන්න එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් ප්‍රශ්න කරනවා.
මන්දපෝෂණය සහ අවබෝෂණය පිළිබඳව නරක දර්ශක සහිත රටක් ලෙස නොමිලේ දෙන ත්‍රිපෝෂ මගින් සිදුවන කාර්යභාරය අතිවිශාලබවද ඔහු සඳහන් කළා.
මෙහි දී මේ සම්බන්දයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා,
“ගර්භනී මව්වරුන් කිරිදෙන මව්වරුන් සහ බර අඩු දරුවන් සඳහා ලංකාවේ ඇති එකම පෝෂණ වැඩසටහන ලෙස දීර්ඝ කාලයක් තිස්සේ බාධාවන් මැද පවත්වාගෙන පැමිණි ත්‍රිපෝෂ වැඩසටහන එලෙස කිසිදු වග විභාගයක් නොමැතිව හකුලා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ කෙසේදැයි ජනතාවට පැහැදිලි කළ යුතු වනවා.
වර්තමාන රජය බලයට පත් වී නිකුත් කරන ලද පළවන ගැසට්ටුව තුළම ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට හෝ වෙනත් ආයතනයක් සඳහා අනුබද්ධ කිරීමට යෝජනා කර තිබීම මගින් ආණ්ඩුවේ ගමන් මාර්ගය දුප්පත් ජනතාව ඉලක්ක කර කරන්නක් නොවන බව පෙනෙන්නට තිබෙනවා.
විශේෂයෙන්ම ත්‍රිපෝෂ සමාගම මිලදී ගැනීම සඳහා ඉතා විශාල මහන්සියක් ගත් ලංකාවේ සුප්‍රකට සමාගමකට කාලාන්තරයක් තිස්සේ අවශ්‍යව තිබුණේ ත්‍රිපෝෂ සමාගම වසා දැමීමටයි.
ත්‍රිපෝෂවලට සමාන අනුකරණ නිශ්පාදනයක් සිදු කරන එම ආයතනය, වෙළඳපල ඒකාධිකාරයක් සාදා ගැනීම වෙණුවෙන් ත්‍රිපෝෂ සමාගම මිලදී ගැනීමේ යෝජනවක් එකී සමාගම විසින් රනිල් වික්‍රමසිංහ රජයටද ඉදිරිපත් කල නමුත් ඊට එකඟතාවය ලබා ගැනීමට නොහැකි වුණා.
එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙක්ව සිටි අයෙකු නව රජය විසින් රජයේ ප්‍රධාන ආයතනයක සභාපතිවරයෙකු ලෙස පත් කර තිබීම සහ මෙම තීරණය සැක කටයුතු බව තහවුරු වනවා.
මෙහිදී ව්‍යාපාරික වුවමණාව මත රජය නොමග යවා ඇත්ද, එසේ නොමැතිනම් දැනුවත්ව තම හිත මිතුරන්ගේ වුවමණාව ඉටු කිරීම සඳහා මෙවන් තීන්දු ගනු ලබන්නේද යන්න පැහැදිළි නැතත්, දිළිඳු ජනතාවගේ එකම පෝෂණ වැඩ සටහන එලෙස හකුලුවා දැමීමට කටයුතු කිරීම බරපතල ගැටලුවක්.“
