Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමති මනූෂට බරපතළ චෝදනාවක්

2 years ago

පසුගිය රජයේ හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිවිරෝධි අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම හේතුවෙන් වසර 20කට අධික කාලයක් පුරා විශාල ශ්‍රී ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කාණ්ඩයේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇති වී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසනවා.

නීතිවිරෝධි වීසා බලපත්‍ර නීත්‍යානුකූල කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කැබිනට් අනුමැතිය ලබාගන්නත් පෙර, රජයේ කිසිඳු අනුමැතියකින් තොරව E-8 වීසා සම්බන්ධයෙන් පෞද්ගලිකව ගිවිසුමක් අත්සන් කර ඇති බවටයි ඒ මහතා චෝදනා කර සිටියේ.

දකුණු කොරියානු E-8 වීසා කාණ්ඩයේ සෘතුමය රැකියා සඳහා පුද්ගලික පාර්ශවයන්ට මුදල් ලබාදුන් පිරිස් බත්තරමුල්ල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

මේ අතර දකුණු කොරියාවේ කෙටිකාලීන රැකියා අවස්ථා හිමිවුණු, එහෙත් කොරියාවට යාමට අවස්ථාව නොලැබුණු බව පවසමින් පුද්ගලයින් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අද තෙවන දිනටත් විරෝධතාවේ නිරත වනවා.

‘සත්‍යග්‍රහ ව්‍යාපාරය ඊ – 8 වීසා එකමුතුව’ නමින් 107 දෙනෙකුගෙන් යුතු පිරිසක් එලෙස විරෝධතාවේ නිරත වන අතර ඔවුන් චෝදනා කරන්නේ එම පිරිසට දකුණු කොරියාවට යාමට නොහැකි වී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොදීම හේතුවෙන් බවයි.

කෙසේවෙතත්,  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ කෙටිකාලීන සෘතුමය රැකියා සඳහා E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට යාමට නීත්‍යානුකූලව වීසා නිකුත් කිරීමට නොහැකි බවය. 

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා අද පෙරවරුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්ව සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රශ්න ගත E8 වීසා ක්‍රමය යොදා ගනිමින් අයථා ලෙස මුදල්‍යම ලෙස ලාභ උපයා ඇතැයි සැක සහිත බවයි.