Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව ආණ්ඩුව යටතේත් විදුලි මාෆියාව යළිත් බරටම වැඩ අරඹයි! ජලාශ පිරී තිබියදී වැඩි මිලට තාප බලාගාරවලින් විදුලිය මිලට අරන්!

2 years ago

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය උපරිම මට්ටමින් පවතින අවස්ථාවක පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමක් සිදුව ඇති බව ලංකා විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි.

ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා මේ බව සඳහන් කළා.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ එක විදුලි ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොමැති බවත් එම මණ්ඩලය තුළ දීඝර් කාලයක සිට ක්‍රියාත්මක විදුලි මාෆියාව නැවතත් හිස ඔසවා ඇති බව ඔහු පවසනවා.

විදුලි ගාස්තු ඉහළ යෑමට ද මෙම විදුලි මාෆියාව ප්‍රධාන කරුණක් බවට පත්ව ඇති බවත් ජල විදුලියෙන් සහ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාව තිබීයදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම විශාල නාස්තියක් බවත් ඔහු සඳහන් කළා.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එසේ කළහොත් ලබන වසරේ පෙබරවාරි සහ මාතර් වන විට ඇතිවන වියළි කාලගුණ තත්වයේදී විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට මුදල් නොමැතිව බරපතල අර්බුදයක් ඇති වන බවයි ඔහු සඳහන් කළේ.

එම සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ, මෙවැනි කටයුතු සිදුවන්නේ කාගේ අවශ්‍යතාව මතද යන්න සොයා බැලීමක් කලයුතු බවය.

“පසුගිය කාලයේ අපිට හොඳටම වර්ෂාව ලැබුණා. අපේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සම්පූර්ණයෙන් පිරී ඉතිරිලා යන්න තරම් වර්ෂාවක් ලැබුණා. ඒ වගේම නොරොච්චෝලේ බලාගාරයේ මේ වනවිට ගල් අඟුරු ඇති තරම් ගෙනල්ලා ගල් අඟුරු ස්ටොක් එකක් තියෙනවා. නමුත් පහුගිය සතියේ විදුලිබල මණ්ඩලයේ දත්තවල තියෙනවා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුනෙන් දෙකක් තමා ක්‍රියාත්මක වෙන්නේ. ඒ යන්ත්‍රවලිනුත් එකක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොකර අඩු ධාරිතාවයෙන් තමා ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලට ගැනීමක් කරලා තියෙනවා. මේ වෙද්දි ජල විදුලි බලාගාරත් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි පසුබිමක් තිබිය දී නොරොච්චෝලේ උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයක් තුළ කාගේ උවමනාවකට ද මේ තෙල් බලාගාරවලින් විදුලිය මිලට ගත්තේ ?”