මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් (14) ඇරඹෙනවා.
ශ්‍රීපාද මළුවේ කළ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව වන්දනා සමය අද(14) අලුයම ආරම්භ කෙරුණා.
ඒ සඳහා, වන්දනාකරුවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව, විදුලිය, සනීපාරක්ෂාව, මාර්ග, දුම්රිය, මගී ප්‍රවාහන සේවාවන්, ආහාර සුරක්ෂිතතාවය, ඇතුළු මූලික පහසුකම් බාධාවකින් තොරව සැපයීමට මේ වන විටත් කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රීපාද වන්දනා සමයේ කටයුතු කළ යුතු ආකාරය පිළිබද දැනුම් දෙමින්, රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදිමින් බැතිමතුන් සිරිපා කරුණා කල යුතු බව ගැසට් නිවේදනය මඟින් අවධාරණය කර ඇති බව සඳහන්.
ශ්‍රී පාද වන්දනා සමය අවසන් වූ පසු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්ථානයේ පිහිටි විශේෂ කුටියක තැන්පත් කරනවා. එලෙස තැන්පත් කරන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නැවත එම විශේෂ කුටියේ සිට පිටතට වැඩම කරවීම සිදුකරන්නේ ශ්‍රී පාද වන්දනා සමය යළි ආරම්භ වීමත් සමගයි.
මේ අතර, වන්දනා සමයේ දී නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සැපයීමේදී ඇතිවන ගැටළු සඳහා විධිමත් අයුරින් විසඳුම් ලබාදීමේ අරමුණෙන් විශේෂ රැස්වීමක් පවත්වා තිබුණා.
ඒ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලගේ ප්‍රධානත්වයෙන්.
ඒ සඳහා නල්ලතන්නිය ග්‍රාම නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසකගේ සහභාගී වී තිබුණා.
මේ වන විට නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ තාවකාලික වෙළඳසැල් හිමියන් ශ්‍රීපාද කඳු මුඳුනට අලෙවිය සඳහා යම් ප්‍රමාණයක ප්ලාස්ටික් ජල බෝතල් ගෙනගොස් ඇති බව වෙළඳ සංගමයේ නියෝජිතයින් විසින් මෙහිදී අනාවරණය කර තිබුණා.
ඒ අනුව, වෙළඳසැල් වලින් එම ජල බෝතල් අලෙවි කිරීමේදී ප්ලාස්ටික් ජල බෝතලයේ ඇති ජලය වන්දනාකරුවන් විසින් තම නිවෙස්වල සිට රැගෙන එන නැවත පරිසරයට බැහැර නොකරන ජල බෝතල්වලට එම ජලය පුරවා දීමට කටයුතු කරන ලෙස වෙළඳසැල් හිමියන්ට දැනුම්දී තිබෙනවා.
ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වීමට නියමිතයි.
