බිරිඳ සහ කුඩා දරුවා සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටි සමෘද්ධි සහායකවරයකුට මීගොඩ නාගහ වත්ත ප්‍රදේශයේදී ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි
ඝාතනයට යොදාගත් T56 ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත.
පසුගිය 14 වනදා රාත්‍රීයේ බිරිඳ හා වයස අවුරුදු එකහමාරක කුඩා දරුවා ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා සේවයෙන් පලා ගිය අයකු වන අතර ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අසල්වාසී නිවසක පදිංචිකරුවකු වන බවත් ඔහු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූයේ මීගොඩ ඕවිටිගම නාගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි එක්දරු පියෙකි.
වෙඩිතැබීම සිදුකළ දිනට පසුදින වෙඩික්කරු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවසට ගොස් මෘත ශරීරයට අවසන් ගෞරව ද දක්වා ඇති බව පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවට වාර්තා වනවා.
