Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව වසරේ පාර්ලිමේන්තුව යළි රැස්වෙන දිනය මෙන්න

2 years ago

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 31 වෙනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබෙනවා.

මේ අනුව, ජනවාරි 7 වැනි අඟහරුවාදා රජය විසින් ගෙනෙනු ලබන “2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පැවසුවා.

ජනවාරි 8 වැනි බදාදා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබුණා.

ජනවාරි 9 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.

ජනවාරි 10 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය චෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි. 

මේ අනුව, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, එච්.නන්දසේන සහ ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.