දංකොටුව පොලිස් වසමේ ඇටියාවල ප්‍රදේශයේ පියකු හා පුතෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් කෝපයට පත් පියා ධීවර කටයුතුවලදී මසුන් මැරීමට උපයෝගී කරගන්නා මණ්ඩාවකින් සිය පුතාගේ මුඛයට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මණ්ඩාව දැඩි ලෙස මුඛය ප්‍රදේශයට ඇතුළු වී තිබීම නිසා පහරකෑමට ලක් වූ පුත්‍රයා මුඛය පෙදෙසට ඇතුළු වී ඇති මණ්ඩාවත් සමඟ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ඇටියාවල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක්දරු පියෙකි.
ප්‍රහාරය එල්ල කළ පියා, ප්‍රහාරයට ලක් වූ පුතා හා ඔහුගේ බිරිය සහ අවුරුද්දයි මාසයක් වයසැති දරුවා එකම නිවසේ පදිංචිව සිටින අතර සිද්ධිය වූ දින පුතා නිවසට පැමිණීමට ප්‍රමාද වූ බව පවසමින් පියා සහ පුතා අතර බහින් බස්වීමක් ඇති වී තිබේ.
මේ ආරවුල දුරදිග ගොස් කෝපයට පත් පියා එක්වරම නිවසේ තිබූ මණ්ඩාවෙන් පුතාගේ මුඛ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මේ ප්‍රහාරය හේතුවෙන් මණ්ඩාවේ ඉදිරිපස ඇති කොටසේ බිලී කොකු මෙන් සකසා ඇති තියුණු උල් කීපයක් මුඛය පසාරු කරගෙන ගොස් ඇත.
ගැලවීමට නොහැකි ලෙස මුඛය කොටසට ඇතුළු වී ඇති මණ්ඩාව සමඟ ප්‍රහාරයට ලක් වූ අය දංකොටුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.
ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් වෛද්‍යවරුන් ඔහුව කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කර තිබේ.
මේ සිද්ධිය වන අවස්ථාවේ ප්‍රහාරයට ලක් වූ අයගේ පියා අධික ලෙස බීමත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
