කොළඹ වරාය පරිශ්රයේ ඩොක්යාඩ් ආයතනයේ සේවය කළ පුද්ගලයෙකු ඊයේ (31) නැව් අළුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී මියගොස් තිබේ.
කිමිඳුම්කරුවන් විසින් ඔහු ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට වෙරළබඩ පොලිසිය සඳහන් කරනවා.
මෙම අනතුර ඊයේ(31) උදෑසන කාලයේදී සිදුවී ඇති අතර අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 37 හැවිරිදි වියේ පසු වූ පරගහවිට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු ඩොක්යාඩ් ආයතනයේ උප කොන්ත්රාත් සමාගමක සේවකයකු වන අතර, උදෑසන ආහාරයෙන් පසු අත සේදීමට නැව් අළුත්වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේදී තටාකයට ඇද වැටී ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධව වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
