ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට තමන් ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.
ඔහු මෙම අදහස් පල කළේ,අද (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමින්.
වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට මෙරට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබා දීමට තම රජය සූදානම් බවද අවධාරණය කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සදහන් කළේ, ලෝකයේ වෙළෙඳපොළ ආර්ථිකය රඳා පවතින්නේ ස්වයං හෝ ස්වාධීනව නොවන බැවින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාවෙන් පරිබාහිර ආර්ථිකයේ කොටස්කරුවන් ශ්‍රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය ඉතා වැදගත් බවයි.
වර්තමාන ලෝකය තුළ වෙළෙඳපොළ බෙදාගෙන අවසන් වී තිබීම හා යළි වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා තරඟයක් ඇති වී තිබීම තුළ ප්‍රමාණවත් පංගුවක් අත්පත් කර ගැනීම අප රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
අද වෙළෙඳපොළ ලෝක දාමයක් බවට පත් වී ඇති බවත්, එහි පාර්ශ්වකරුවකු බවට පත් වීමට රටට හිතකර වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුතු බවත් දඩබ්බර, හිතුවක්කාර දරුවකු ලෙස වෙළෙඳපොළ ආක්‍රමණය කළ නොහැකි බවත් ජනාධිපතිවරයා මෙහෙදී අවධාරණය කළා.
එහිදී ගුණාත්මකභාවයෙන් වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට තම රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝකයේ ඇතිවන වෙනස්කම්වලට අනුරූප වන පරිදි නව භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපතිවරයා පැවසුවා.
විදුලිබිල අඩු වීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළා.
රටේ ආර්ථිකය වෙනත් තලයකට ගෙන යාමට රජයක් ලෙස උපරිම මැදිහත්වීම සිදු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට මරු පහරක් වනු ඇති බැවින් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ඉතා ප්‍රවේසම් සහගත විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.
රටේ ආර්ථිකය නඟා සිටුවීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස අපනයනකරුවන්ගේ ඉල්ලීම්, මේ වන විට සකස් කර ගෙන ඇති අත්තිවාරම නොබිඳෙන ලෙස ඉටු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
