Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ වරායේ සමූහ මිනීවළෙන් 16 දෙනෙකුගේ ඇටසැකිලි හමු වෙයි

2 years ago

කොළඹ වරාය භූමියෙන් හමු වූ සමූහ මිනීවළවල් තුළ මේ වන තෙක් සිදු කළ කැණීම්වලින් පුද්ගලයන් 16 දෙනකුගේ ඇටසැකිලි හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යාඥ, මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසා තිබෙනවා.

‘දිනමිණ’ වාර්තා කළේ මෙම සමූහ මිනීවළ ක්‍රමවත් සුසාන භූමියක් නොවන අතර එම සිරුරු තැන්පත් කර ඇති අයුරින් ඔවුන් ඝාතනයට ලක් වූ ස්වරූපයක් පෙනෙන්නට තිබෙන බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළ බවයි.

මෙම ඇට සැකිලි අතර කුඩා දරුවන් දෙදෙනකුගේ ඇටසැකිලි හමුවීම විශේෂත්වයක් බවද ඔහු අවධාරණය කර තිබුණා.

රාජ් සෝමදේව මහතා පවසන්නේ, මේ වන විට ඇටසැකිලි 13ක් හඳුනාගෙන ඇති අතර ඊට අමතරව කැඩී බිඳී ගිය කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් හමු වී ඇති බවයි.

විද්‍යාත්මක පරීක්ෂා කිරීමකින් අනතුරුව මේ සිදුවීම්වලට අදාළ කාලය නිර්ණය කළ හැකි බවත්, අධිකරණයේ දැනුවත් කිරීම අනුව වාර්තා සපයන බවත් ඔහු සඳහන් කරනවා.

එසේම තවත් තිදෙනකුගේ පමණ ඇටසැකිලි හඳුනාගැනීමට නියමිත බවද ඔහු පෙන්වා දෙනවා.

2024 ජුලි මස 13 වැනිදා කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් මිනිස් අස්ථි කොටස් හමු වී තිබුණා. ඒ ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුරයි.

ඒ සම්බන්ධව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරු ඉදිරියේ 2024 සැප්තැම්බර් 05 වැනිදා මිනිවළේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අතුරුදන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා  මින් පෙර පවසා තිබුණේ මෙම සමූහ මිනීවල 88/89 කාලය අදාළ සුසානයක් දැයි සැකයක් පවතින බවයි.

එම ස්ථානයේ මින් පෙර පිහිටා තිබූ නාවික හමුදා කඳවුරක් තිබූ බවත් ඒ ආසන්නව තිබූ වරාය පොලිසිය නම් ස්ථනයේ 88/89 කාලයේ සහ යුද සමයේ සැකකරුවන් රඳවා ගැනිමේ ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.