මේ රටේ ළමා පිළිකා රෝග සුව කිරීමේ හැකියාව ඉතාම ඉහළ මට්ටමක ඇති බව මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා ආයතනයේ) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා පසුගියදා කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
දකුණු ආසියාවේ අනෙකුත් රෝහල්වලට වඩා වැඩි පහසුකම් හා හැකියාවක් මෙරට පවතින බවද හෙතෙම කීය.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
පිළිකා වර්ග රාශියක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් රෝග තුනක් ගැන කතා කරනවා නම් වැඩිපුරම දකින්න ලැබෙන්නෙ ලේ පිළිකා ආශ්රිත රෝග. ස්ථිර ලෙසම මෙය පිළිකාවක් කියන්න පුළුවන් කරුණු නැහැ. සති කීපයක් තිස්සේ කුද්දැටි ඉදිමීමකට ලක්වෙනවා නම්, නිතර නිතර උණ හැදෙනවා නම්, විෂබීජ ඇඟට ගිහිල්ලා සෙම රෝග එහෙම නැත්නම් කකුලේ – අතපයේ තුවාල ඇතිවෙනවා නම් ඒ වගේම විෂබීජවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු නම් සමහර විට මෙය පිළිකා රෝග ලක්ෂණ විය හැකියි.
දරුවන්ගේ ලේ අඩු නම් රක්තහීනතාවය ඇතිවෙනවානම්, ළමයා කෑම කන්නෙ නැත්නම් බර වැඩිනම් සමහරවිට පිළිකා රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. පුංචි ළමයින්ට ආතරයිටීස් අඩුයි. නමුත් ඒ වගේම, ආතරයිටීස් විදිහටත් රුධිරගත පිළිකා තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.
දෙවැනුව කුඩා දරුවන්ගේ දනින්න පුළුවන් පිළිකා ලක්ෂණය මොළය ආශ්රිත පිළිකායි. කාලයක් තිස්සේ ඇතිවෙන හිසේ කැක්කුමක්, ගොඩක් වෙලාවට උදේ පාන්දර තමයි ඇතිවෙන්නෙ. වමනය යෑම සිදුවෙනවා. හවස් වෙනකොට මේ රෝගය මුකුත් අමාරුවක් වෙන්නෙ නැතිව තියෙන්න පුළුවන්. ගොඩක් මේ ළමයි බඩේ අමාරුවට, ගැස්ට්‍රයිටීස්වලට කියලා තමයි මාස ගාණක් බෙහෙත් අරගෙන තියෙන්නේ.
එමෙන්ම ෆිට් එකක් එන්න පුළුවන්. පවුලේ කාටවත් වලිප්පුව නොතිබුණත් සමහර විට මෙය මොළේ පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්.
මීළඟට ඇතිවෙන පිළිකා තත්ත්වයන් තමයි මස් පිඬු සහ අස්ථි ආශ්රිත ඇතිවන පිළිකාවන්. ක්‍රීඩා කරන ළමයින්ගේ පොඩි ඉදිමීමක් ආවොත් ක්‍රීඩා කරපු නිසා කියලා හිතලා ගොඩ වෙදකම් කර කර මාස දෙකක් තුනක් ගෙවල්වල තියාගෙන ඉන්නවා නිසි වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්නෙ නැතිව. අපි ළඟට එනකොට මේ පිළිකා ඇඟපුරාම ගිහින් ඉවරයි.
ඇස් ආශ්‍රිතව ඇතිවන පිළිකාවන් විශේෂයෙන්ම මොන්ටිසෝරි ළමයින්ගේ අවුරුදු 3 – 4 ළමයින්ගේ වපර තත්ත්වයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් ඇසේ සුදුපාට දිලිසෙන වීදුරු බෝලයක් වගේ පේනවා නම් සමහර විට ඇසේ ඇතිවෙන පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්.
