බීමතින් පාසලකට ඇතුළුවී දැරියන් ඉදිරියේ අශෝභන ලෙස හසිරුණු පොලිස් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීයෙකු ඊයේ (17) බීමතින් පාසලකට පැමිණ පාසල් සිසුවියන් කිහිපදෙනෙකුට කරදර කිරීමක් සම්බන්ධව මල්ලාවි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මල්ලාවි පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.
මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයේදී මෙම නිලධාරියා මල්ලාවි පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරනු ලබන කෝපායි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බවට අනාවරණය වී තිබෙනවා.
මොහු රාජකාරි යෙදී සිටියදී බීමතින් සිටීමේ වරදට හා රජයේ පාසලකට ඇතුළුවී ගැහැණු ළමුන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරීමේ වරදට මල්ලාවි පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගත්තා.
සැකකරු අද (18) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා
සිද්ධිය සම්බන්ධයෙන් මල්ලාවි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
