ශ්‍රී ලංකා ගුවන් සමාගම සිදු කරන ලද එයාර් බස් ගණුදෙනුවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිටි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් සහ යූ ටියුබ් මාධ්‍යවේදියෙකු අතර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් එම ස්ථානයේ තරමක උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.
අනතුරුව පොලීසිය මැදිහත්වීමෙන් පසු තත්ත්වය පාලනය කෙරුණු අතර අදාළ පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුනා.
අද (26) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයා පැය 05කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා.
2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පසුගිය සමයේ චෝදනා එල්ල වුණි.
ඒ එයාර්බස් සමාගමට අදාළව විදෙස් අධිකරණයක පැවති නඩු කටයුත්තකට ඉදිරිපත් වී තිබූ ලිපිලේඛන හරහාය.
එම ලිපිලේඛනවල එයාර් බස් සමාගම විසින් මෙම ගුවන් යානා අලෙවි කිරීමට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මියට අල්ලසක් ලබාදී ඇති බවට සඳහන් වේ.
එම තොරතුරුවලට අනුව මෙම ගුවන් යානා ගනුදෙනුව සිදුකිරීමට පෙර එයාර්බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 16ක අල්ලස් මුදලක් කපිල චන්ද්‍රෙස්න මහතාගේ බිරිඳට ලබාදීමට සාකච්ඡා කර ඇති අතර ඒ සඳහාම බෘනායි හී පිහිටුවූ සමාගමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් බැර කර තිබෙන බවද අනාවරණ කර තිබුණි.
ඒ අනුව ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර 2020 වසරේ පෙබරවාරි 06 වනදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
පසුව ඔවුන් ඇප මත මුදා හැරුණු අතර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යය අඛණ්ඩව සලකා බැලුණි.
මෙවැනි පසුබිමක ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.
