අද (01) දහවල් මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
වැලිගම පොලිසිය සඳහන් කළේ මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ වැලිගම, හෙට්ටිවීදිය, දෙවන පටුමග පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දී ය.
පොලිසිය පවසන පරිදි, වවුනියාවේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටී තිබේ.
මවක් සිය දියණිය අමතර පංතියකට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් වැලිගම නගරයට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් මෝටර් රථය පැදවූ මව සහ ඇගේ දියණිය තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
