Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශේෂ දළදා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු සැලසුම් කරයි! තත්පරයකට තිදෙනෙකුට දළදා වහනසේ වන්දනා කිරීමට අවස්ථාව!

2 years ago

එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතාගේ ප්‍රදානත්වයෙන් සාකච්ඡාවක් ඊයේ(06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී අනාවරණය වූයේ විශේෂ දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීමට අවම වශයෙන් ලක්ෂ 20ක පමණ බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි.

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන දින 10 තුළ තත්පරයකට බැතිමතුන් තිදෙනා බැගින් දළදා වහන්සේ වන්දනා කිරීමට හැකි බවට අනුමාන කළත් එම කාලය තුළ දළදා මාලිගය තුළට ඇතුළුවීමට හැකියාව ඇත්තේ ලක්ෂ 06ක පමණ පිරිසකට බවද මෙහිදී අනාවරණය කෙරුණි.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන හැකි තරම් විශාල පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවද මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතා පැවසීය.

දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම, නගරය ආලෝක කිරීම, යටිතල පහසුකම් සුපරාලීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

බැතිමතුන් සඳහා දන්සල් ලබාදීම සිදුකළ හැක්කේ නගර සභාවේ ලියාපදිංචි වීමෙන් පමණක් බව මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පැවසීය.

මේ අතර දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දී මහනුවර නගරයේ පාසල් වසා තැබෙන බවත් ඒ වෙනුවට වෙනත් දිනවලදී පාසල් පැවැත්වීමට කටයුතු කරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතා තවදුරටත් පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල යන නාහිමිවරු ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.