Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුමේධට දළය අහිමි කළ ලොරි රථයේ රියදුරු රිමාන්ඩ්

2 years ago

හඹරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී ඇතෙකු ලොරි රථයක ගැටීමේ සිද්ධියට අදාළව එහි රියදුරු ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහු ඊයේ (07) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මෙම අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

සැකකාර ටිපර් රථ රියදුරා අධිකරණයට ඉදිරිපත් කරමින් ගනේවල්පොල වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරින් සඳහන් කලේ අනතුරෙන් ඇතාගේ එක් දළක් කැඩී සිරුරෙන් වෙන් වී ගොස් මාර්ගය මත වැටී තිබූ බවයි.

පසුව සැකකාර ටිපර් රථයේ රියදුරු එය නොනවත්වාම ධාවනය කර පලා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවද ඔවුන් අධිකරණය හමුවේ සදහන් කළා.

එමෙන්ම, මෙම ඇතා ‘සුමේධ’ නමින් ප්‍රචලිත ඇතා බවට සැක කරන බවත්, එය තවමත් තහවුරු වී නොමැති බවත් අධිකරණයේදී කරුණු අනාවරණය වුණා.

මෙම නඩුවට අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ලෝක සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජතයින් වෙනුවෙන් ද නීතිඥවරයෙකු පෙනී සිට තිබුණා.

කෙසේ වෙතත්, අනතුරින් පසුව තුවාල ලැබූ ඇතා හඹරණ කැලයට ඇතුලු වී ඇති අතර, වනජිවි නිලධාරීන් එම ඇතාට සොයා මේ වන විට මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.