මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් මත නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ජාතික පුවත්පතකට පවසා තිබෙනවා.
අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට පසුගිය දා මාධ්‍ය වාර්තා පළවුණේ 2021 වසරේදී කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් යැයි ඔහු එහිදී සඳහන් කර තිබේ.
නව වැඩපිළිවෙල ගැන විස්තරාත්මකව කිව නොහැකි නමුත් නීතිපතිවරයා සමග අඛණ්ඩව කෙරෙන සාකච්ඡා මගින් ඊට අදාළ පියවර ගනිමින් සිටින්නේ යැයි අධිකරණ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළ බව සඳහන්.
අමාත්‍යවරයා එහිදී මෙසේ සඳහන් කර තිබේ.
“2021 වසරේ ඉදිරිපත් කළ ඉල්ලීමක් තමයි ඔය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ ලියුම මෑතකදී තමා මාධ්‍යයට නිකුත් කරලා තිබුණේ. නමුත් අපි නීතිපතිවරයා සමග ඒ ගැන සාකච්ඡා කරමින් සිටිනවා. ඔහු ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙල අලුත් විදිහකින් ක්‍රියාත්මක කරන්න වෙනවා. මෙහිදී නීතිමය පියවර කිහිපයක් ගන්න තියෙනවා. ඒ ක්‍රියාමාර්ග ගන්න නීතිපතිවරයා කටයුතු කරගෙන යනවා.”
2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10කට අධික අලාභයක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකරනු ලැබ ඇති පැමිණිල්ලක සැකකරුවෙකු වශයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නම්කර ඇති අතර පසුගිය පෙබරවාරි මස 25 වන දා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 2024 නොවැම්බර් 26 වන දා නියෝග කළේ ය.
සිංගප්පූරු පුරවැසියෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පනය කළ නොහැකි බව එරට බලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පළ කළේ ඉන්පසු ය.
උපතින් ශ්‍රී ලාංකිකයෙකු වුවද පසුව සිංගප්පූරු පුරවැසිභාවය ලබාගත් අර්ජුන් මහේන්ද්‍රන් යහපාලන ආණ්ඩු සමයේ මහ බැංකුවේ අධිපති ධුරයට පත්කෙරුණේ එල්ල වූ විශාල දේශපාලන විරෝධය නොසලකා ය.
