ආකර්ෂණීය පොලී මුදලක් ලබා දෙන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පල කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් රු.ලක්ෂ 450කට ආසන්න මුදලක් වංචා ලෙස ලබා ගත් කාන්තාවක් ජ මගින් (09) දින අත්අඩංගුවට ගෙන (10) දින හැටන් මහේස්ත්‍රාත් එම්.ෆරුක්ඩීන් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාරිය මේ මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බදුල්ල කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි දිලිනි ශාමේන් සොක්මන් (31) නැමති තිදරු මවකි.
සැකකාර කාන්තාව හැටන් ප්‍රදේශයේ කාන්තාවකගෙන් මෙවැනි ආකාරයකට රු.ලක්ෂ පහක මුදලක් ලබා ගෙන එම මුදලට පොලිය හෝ ලබාගත් මුදල නොගෙවීම සම්බන්ධයෙන් මුදල් ලබා දුන් කාන්තාව විසින් හැටන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත එම කාන්තාව හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දැඩි ඇප කොන්දේසි මත එම සැකකාරිනිය මුදාහැර සිටි බවත්, එම සැකකාරිනිය සෑම මසකම අවසන් ඉරු දින හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ පෙනී සිට අත්සන් කල යුතු ඇතත්, එසේ අත්සන් නොකර අධිකරණය මාස පහක් තිස්සේ නඩුවාර තුනක් මගහැර සිටිම හේතුව මත වරෙන්තු ලබා සිටි සැකකාරිනියක් බවයි හැටන් පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
සිය සැමියාගෙන් සහ දරුවන්ගෙන් වෙන් වී මහනුවර තැන්නේගෙදර සැගව සිට ඇති එම සැකකාර කාන්තාව ඇගේ යෙහෙලියක් හමුවීමට දුම්රියෙන් (09) දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන බවට හැටන් පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා මහතා වෙත ලද තොරතුරක් මත හැටන් කොට්ටාශ භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සහ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ සැකකාරිනිය හැටන් දුම්රිය ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකාරිනිය හැටන්, ගම්පොල, වැලිකඩ, වැල්ලවාය, දඹුල්ල, මහනුවර, බුත්තල ඇතුළු දිවයිනේ තවත් ප්‍ර දේශ රැසක පුද්ගලයින්ගෙන් මෙවැනි ආකාරයට රවටමින් මුදල් ලබාගත් බවත් එම මුදල් ලබා දුන් අය විසින් හැටන් පොලිසිය වෙත දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් තොරතුරු ලබා දුන් බවත්, මුදල් ලබා දුන් පුද්ගලයන් විසින් ඔවුන් පදිංචි පොලිස් ස්ථාන වල පැමැණිලිකර ඇති බවට තොරතුරු ලබා දුන් බවයි හැටන් පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
සැකකාර කාන්තාව විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් මුදලට විශ්වාසය තහවුරු කර ගැනීම සදහා මාස කිහිපයක් පොරොන්දු වූ පොලී මුදලද ගෙවා ඇති අතර , මෙසේ වංචාකර ලබා ගත් මුදල් වලින් ස්වර්ණාභරන ව්‍යාපාරයක් සිදු කිරිම සදහා සැකකාරිනිය ඉන්දියාවට ගොස් ඇති බවද ඇය විසින් පාපොච්චාරණය කර ඇති බවයි හැටන් පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
