කැනඩාවේ මාර්කම් ප්රදේශයේ නිවසක පසුගිය 07 වැනි දා සිදු වූ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි යාපනය – ගොන්ඩා, බටහිර කල්වීටුහි පදිංචි 20 හැවිරිදි තරුණියක් මියගොස් ඇති බව කැනඩාවේ CBC පුවත් සේවය වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ, යාපනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ඇල්ෆ්රඩ් දොරේ අප්පාගේ මිණිබිරියක් වන රගුදාස් නිලක්ෂි නැමති තරුණිය බවට හඳුණා ගෙන තිබේ.
ඇය මීට දෙවසකට පෙර කැනඩාවට ගොස් තිබිණි.
යෝර්ක් ප්රාදේශීය පොලිසිය පවසන පරිදි, අධිවේගී මාර්ග 48 සහ කාසල්මෝර් මාවත අසල සොලස් පාරේ නිවසක සිකුරාදා උදෑසන 6:30 ට පමණ වෙඩි තැබීම සිදු වී තිබේ.
එම නිවසට මීට පෙරද වෙඩි තැබීම් සිදුව තිබුණුද එම වෙඩිතැබීම්වලින් කිසිවෙකුට හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.
එම සෑම අවස්ථාවකදීම සැකකරුවන් නිවසට වෙඩි තබා ඇත්තේ දුරක සිට වන අතර ඒ කිසිම අවස්ථාවක සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට විමර්ශන අංශවලට හැකි වී නැත.
සිකුරාදා සිදු වූ වෙඩි තැබීමේදී 20 හැවිරිදි තරුණිය මියගොස් එම නිවසේ සිටි 26 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
නිවසේ ආරක්ෂාවට සිටි ජර්මන් ෂෙෆඩ් වර්ගයේ සුනඛයෙකුටද තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දමා තිබේ.
වෙඩි තැබීමෙන් පසුව ඊට සම්බන්ධ හතර දෙනෙකු නවීන පන්නයේ කැබ් රථයකින් පලා ගොස් ඇති බව සී.සී.ටීවී කැමරා පද්ධතියක සටහන්වී ඇති බව කැනේඩියානු පොලීසිය සඳහන් කර තිබේ.
මේ දක්වාම කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කැනඩා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
