දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩය යටතේ හිමිවන කෙටි කාලීන රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට මෙතෙක් අනුමැතිය හිමිව නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් තොරතුරු රැස්කිරීමක් සිදුනොකරන බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දැන්වීම් අසත්‍ය බව ද සභාපතිවරයා අවධාරණය කළා.
“පළමුවෙන් කිව යුතුයි මේ වන තෙක් අපිට රජයෙන් අනුමැතිය ලැබිලා නෑ E-8 වීසාවලට පුද්ගලයින් යවන්න. E-8 වීසා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සාකච්ඡා මෙහෙයවීමට අපි මූලික වශයෙන් කැබිනට් අනුමැතිය ලබාගත්තා. පුද්ගලයින් රැකියා සඳහා යවනවා කියන්නේ එකක්, ඒ සඳහා සාර්ථක කරගැනීමට සාකච්ඡා මෙහෙයවනවා කියන්නේ එකක්. අපි ඒකෙදි කරන්නේ E-8 රැකියාවලට මොනවගේ දේවල්ද අපි සලකා බලන්නේ? වයස, හැකියාවන් මොනවගේ වෙන්න ඕනිද? වැටුප, රැඳි සිටින කාලය කුමක්ද? නැවත රටට ගෙන්න ගන්නේ කොහොමද? අපේ ඉල්ලීමක් තියෙනවා මාස 8ක් නම් කාල සීමාව ඒ වගේ තුන්වාරයක් ඔවුන්ට ඒ රටේ රැඳිඉන්න දෙන්න කියලා. එතකොට වසර 2ක් වගේ කාලයක් ඒ රටේ ඉන්න පුළුවන්. උපයාගන්න පුළුවන් මුදල හොඳයි, ඒ වගේ හොඳ ආර්ථික තත්ත්වයක් ඇතිකර ගන්න පුළුවන්.
මාස 8ක වගේ කාලයක් රැකියාව හිමිවෙන නිසා ඔවුන්ගෙන් අයකරන මුදල අඩුකරන්න ඕනි. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අපි අපේ අභිලාෂයන් කොරියානු රජයට දැනුම්දීලා තියෙනවා. තවම කොරියානු රජයෙන් අපිට නිසි පිළිතුරක් ලැබුණේ නෑ. මේ කටයුතුවලට යම් කිසි කාලයක් ගතවෙයි.
ඒ නිසා කිසියම් භාහිර පාර්ශවයක් කියනවා නම් E-8 වීසාවලට දකුණු කොරියාවට යවන්න පුළුවන් කියලා. ඒක අසත්‍යක්. මුදල්, පාස්පෝර්ට් එකතු කරනවා නම් ඒක වැරදියි. කාර්යාංශයටත් රැකියා සඳහා බඳවාගැනීම් කරන්න අවසර හිමිවෙන්නේ දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව පමණයි. ඒ අවබෝධතා ගිවිසුම අත්සන් කරන්න යම් කිසි කාලයක් ගතවෙනවා.”
