අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් මස 16 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
ඒ අද(20) එම පෙත්සම ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.
පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් රජය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂිම් සම්බන්ධයෙන් නිසියාකාරව විමර්ශන සිදු නොකළ බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කෙරුණු බවත් පෙත්සමේ සඳහන් කර තිබෙන අතර ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පෙත්සම්කරු පෙන්වා දෙනවා.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ද්වේශසහගත ලෙස තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.
