Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අසත්‍ය තොරතුරු පැවසූ ඕ.අයි.සී ට වැඩ වරදී! විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක්!

2 years ago

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය පහර දුන්නේ යැයි කියමින් රෝහල්ගතව ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් 19 හැවිරිදි රිතික් රිෂාන් නමැති තරුණයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත් මුදා හැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා (17) නියෝග කර තිබෙනවා.

ඩෙංගු රෝග තත්ත්වයක් උග්‍රව කොළඹ ජාතික රෝහලේ 55 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි එම සැකකරු රෝහලට ගොස් නිරීක්‍ෂණය කළ මාලිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයකු මෙම නියෝගය සිදු කර තිබේ.

එමෙන්ම එකී සැකකරුට එරෙහිව එල්ල වී ඇති තරුණියකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව යටතේ ගොනුකර ඇති නඩුව ලබන 21 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට කටාන පොලිසියට නියෝග කර ඇත.

අදාළ තරුණයාව අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ ගුරුවරියගේ අධ්‍යාපන ආයතනයේ සේවය කරන තරුණියක් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි. සැකකාර තරුණයා විසින් එම අධ්‍යාපන ආයතනය තුළදී තමාට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත් කළ බව සඳහන් කරමින් එම තරුණිය අදාළ පැමිණිල්ල කටාන පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණි.

එකී පැමිණිල්ල කටාන පොලිසියේ ළමා හා කාන්තා කාරයංශයේ පොලිස් කොස්තාපල්වරියක් සටහන් කිරීමෙන් අනතුරුව තමාට හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියක් පහර දුන්නේ යැයි පෙන්වා දෙමින් පැමිණිල්ලක් කොට මීගමුව රෝහලට ඇතුළත්ව තිබූ සැකකාර තරුණයා ඉන් දින කීපයකට පසුව රෝහලින් මුදා හැරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබිණි.

පසුව රාගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි එම තරුණයාට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගයක් බව අනාවරණය කරගත් රෝහල් බලධාරීන් ඔහුව පසුගිය 14 වැනිදා පස්වරුවේ කොළඹ ජාතික රෝහලට මාර කිරීමට පියවර ගෙන තිබිණි.

පසුගිය 14 වනදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගත් එම තරුණයා දින තුනක් පොලිස් අත්අඩංගුවේ පසු වූ අතර, පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව එසේ අතිරේක මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇපමත මුදාහැර තිබෙනවා.

මේ අතර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරියෙකු විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව මෙම සිද්ධියේදී කටයුතු කළ ආකාරය හා මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම ඇතුළු කරුණු පිළිබඳව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.